උප්පැන්න සහතික අයැදුම්පත් අවසන් වී ඇති බැවින් මරණ සහතික අයැදුම්පතෙහි උප්පැන්න බව සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන්න යැයි දන්වමින් පළ වූ නිවේදනයක් පිළිබද මේ වන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එම නිවේදනය ප්‍රදර්ශනය කර තිබු අතර රෙජිස්ට්‍රාර් කාර්යාලය සතුව ප්‍රමාණවත් කඩදාසි නොමැතිකමින් මෙම තීරණය ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරිය අවසර ලබා දුන් බව සිදු කළ විමසීමේදී තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියක් ඊයේ ( 17) සදහන් කොට තිබුණි.

මේ ගැටලුව පිළිබඳව රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අවසර ලබා දී ඇති බව කියා සිටි ඇය පෙන්වා දුන්නේ දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම මෙම කඩදාසි ගැටලුව හටගෙන ඇති බව ත් ඒ සඳහා විසඳුමක් ලෙස පමණක් මෙම අතිරික්ත අයැදුම්පත්‍රයක් සංශෝධනය කරමින් භාවිත කරන බව ත් ය.

මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් (දකුණු කලාපය) කිසිදු අවසරයක් ලබා නොදුන් බව ත් මේ පුවත සම්බන්ධයෙන් තම කාර්යාලය ද දැනුවත් වූයේ පසුව බව ත් එහි උසස් නිලධාරියෙක් සඳහන් කරයි. කෙසේ වෙතත් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අත්තනෝමතික තීරණයක් මත මෙය සිදුකර ඇති බව ත් මේ සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති බව ත් රෙජිස්ට්‍රාර් ජනරාල් පී.එස්.පී. අබේවර්ධන මහතා කියා සිටී.

එමෙන්ම මේ වන විටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතුව ලක්ෂ 4ක පමණ අයැදුම්පත්‍ර මුද්‍රණය කර තිබෙන අතර ඒවා නිසි වෙලාවට ලබා නොගැනීම නිසා ඇති වූ අයැදුම්පත්‍ර හිඟයට මෙලෙස දැන්වීමක් නිකුත් කර තිබෙන බව ත් ඔහු පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හා මෙවැනි අසත්‍ය තොරතුරු ලබා දීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටී.

Source –  මව්බිම

මෙන්න බලන්න තවත් පුවත්