තම පෙනුම සම්බන්ධයෙන් අපහාසවලට ලක් වීමට සිදු වීම බොහෝ කාන්තාවන්‍ට ඇති ගැටළුවක්.එවැනි තත්ත්වයක් සාර්ථකව ජයගත් දිරිය ගැහැනියක් ගැන අද අපි ඔබට කියන්නට හිතුවා.

1990 නොවැම්බර් 29 වන දින උපත ලැබූ හර්නාම් වයස අවුරුදු 11 දී මුහුණේ හිසකෙස් වර්ධනය වන බව මුලින්ම දැකීමට පටන් ගත්තා.

අවසානයේදී ඇයට PCOD ඇති බව හඳුනා ගත්තා. මේ තත්ත්වය නිසා සාමාන්‍ය කාන්තාවන්ට වඩා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි ප්‍රමාණයක් ඇයට ඇතිවන අතර එය ඇගේ මුහුණේ හිසකෙස් වැඩීමට හේතු වෙනවා.

සිදු වූ Bully කිරීම් ජයගෙන අවසානයේ ඇගේ පෙනුමට පිළිගැනීමක් ලබා ගැනීමට වසර ගණනාවක් ගත වූ බව ඇය පිළිගන්නා අතර, 24 හැවිරිදි ඇගේ නොපසුබට උත්සාහය සහ ඇය ඇයටම දක්වන ආදරය බොහෝ දෙනා මවිතයට පත් කළා.

” කලින් bully වීමට ලක් වූ , ලැජ්ජාවට පත් වූ දෙයක් වෙනුවෙන් දැන් ලෝක ප්‍රසිද්ධියට පත්වීම ගැන මම අතිශයින් සතුටට පත් වෙනවා. ඔබ, ඔබ වෙනුවෙන් සත්‍යවාදීව ජීවිතය ගත කරන්නේ නම් ඔබට ඕනෑම දෙයක් සාක්ෂාත් කර ගත හැකි බව මගේ කතාවෙන් ඔබට පැහැදිලි වෙනවා.”

“මගේ සිහින හා අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මගේ පෞද්ගලික ජීවිතය කැප කිරීමට මට සිදුවී තිබෙනවා. අද දක්වාම මම සමාජය තුළ වෙනස්කම් කිරීම්, කොන්කිරීම් වලට මුහුණ දී සිටිනවා.” හර්නාම් පවසන්නේ එලෙසින්.ඒ ඉතා අභිමානයෙන් සහ විශ්වාසයෙන් යුතුවයි.

“මම තවමත් අන්තර්ජාලයේ විවිධ පෝස්ට් ඔස්සේ හිරිහැරයට ලක්වෙනවා. සමහර අවස්ථාවලදී මට මරණ තර්ජන එල්ල වීම් පවා සිදු වෙනවා. නමුත් මගේ අරමුණ සහ ජීවිතය ඔවුන්ගේ අපයෝජනයට සහ වධ හිංසාවලට වඩා බෙහෙවින් උසස් බව මම විශ්වාස කරනවා.”

එසේ පවසන හර්නාම් ඇගේ අනාගත අරමුණ නොබියව හෙළි කරන්නට පුරුදුව සිටිනවා.

“මේ බාධක අනාගතය සඳහා මගේ සැලසුම් වළක්වන්නේ නෑ, මම මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන කීර්තිමත් motivational speaker කෙනෙක් බවට පත් වෙනවා”

“විවේචනවලට මුහුණ දුන්, ගිනස් ලෝක වාර්තා හිමිකාරියක් වීමට සිහින දකින ලෝකයේ ඕනෑම කාන්තාවකටයි මේ පණිවිඩය. නොපසුබටව උත්සාහ කරන්න. අත් නොහරින්න. ඔබ අසමත් වූවත්, දිගටම කරගෙන යන්න. ජයග්‍රහණය නිසැකව ම ඔබ කරා එනු ඇති.”

රැවුල වවාගත් ගැහැණියක් ලෙස මේ ලෝකයේ මා ඉටු කළ යුතු කාර්යභාරය කුමක්දැයි මට කිසි දිනක හරියටම වැටහුණේ නෑ. වසර ගණනාවක් ගෙවී යද්දී මට තේරුණා මම ඉපදුණේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ශරීරය පිළිබඳ විශ්වාසය ප්‍රවර්ධනය කරන කාන්තාවක් ලෙස ආඩම්බරයෙන් නැගී සිටීමට බව. මම ‘සමාජ සම්මතයෙන්’ බැහැරව වෙනත් දෙයක් ලෝකයට පෙන්වීමට උපත ලැබූ අතර, මම ඉපදුණේ මිනිසුන්ට තමන් ගැන විශ්වාසයෙන් සිටීමට සහ සුවපහසු වීමට උපකාර කිරීමටයි.”

අප හැම කෙනෙකුම අපේ පෙනුම පිළි ගත යුතු බවත් ඒ සම්බන්ධයෙන් තැවීම සහ දුක් වීම ඵල රහිත බවත් හර්නාම්ගේ කතාවෙන් හෙළි වෙනවා. අපහාස කිරීම්වලට ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකු ලක් විය හැකියි.නමුත් සෑම අපහාසයක්ම විඳ දරාගෙන හිස කෙලින් තබා ඇවිද යන ගැහැනියකට ජය ගත නොහැකි අභියෝගයක් නැහැ.

තමන්ට සහ තමන්ගේ පෙනුමට ආදරය කරන සෑම හර්නාම් කෙනෙකුම වීරවරියක්!

පැරණි පුවත්

සමහරු අහනවා අප්පච්චි ලෙඩ ඇඳේ ඉද්දි ඔයාලා කොහොමද කන්නෙ බොන්නෙ විනෝද වෙන්නේ කියලා-සජිත ඇන්තනී හෙළි කල සංවේදී කතාව

ලේ උරුමයෙන් ලැබූ කලාකාමී හැකියාව අපූරුවට ඔපමට්ටම් කර ඔහු ගමන් කරන්නේ ඔහුටම ආවේණික වූ ගමනකි.

එකී ගමනේදී ඔහු වේදිකාව, රිදී තිරය හා පුංචි තිරය ආක්‍රමණය කර සහෘද සිත් සතන් සුවහසක් සොරා ගෙන හමාරය.

අපේ කතානායකයා සජිත ඇන්තනියි. මේ ඔහුගේ සති අන්ත පුවත්පත් සාකච්ඡාවකි…

අලුත් අවුරුද්දේ අලුත් සැලසුම් මොනවාද?

මම කොහොමත් ගොඩක් සිහින මවන කෙනෙක්. අලුත් අවුරුද්දෙත් මගේ සිහින මල්ල පිරිලා තියෙනවා. අධ්‍යක්ෂණ කාර්ය එහිදී මගේ පළමු සිහිනයයි.

ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට මම මුලකුරු කියවන්නේ මීට වසර කිහිපයකට කලිනුයි. සජිත ක්‍රියේෂන් ආයතනය නිර්මාණය කර මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය කිරීමෙන් එය ආරම්භ කළා. ඒ වගේම මගේ අලුත් සිංදුවක් මේ වසරේ දී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රවීණ ගායක නලින් පෙරේරා මට මන්දෝදරී කුමරිය ලෙස ගීතයක් නිර්මාණය කළා. ඊට මියුසික් වීඩියෝ එකක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ වසරේ මගේ චිත්‍රපටි හතරක් තිරගත වීමට නියමිතයි.

ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ගාඩි’ චිත්‍රපටය ජනවාරි විසි වැනිදා සිට තිරගත වෙනවා. ඒ වගේ මගේ අප්පච්චිගේ නිර්මාණයක් වන ‘එක ගෙයි සොකරි’ චිත්‍රපටය, ශශික හේරත්ගේ ‘සිහින සමීකරණ’, චන්න දේශප්‍රියගේ ‘දුශ්රා’ යන චිත්‍රපටි හතරම එකිනෙකට වෙනස් වගේම මම කැමැත්තෙන් කළ චරිතයි. ඒ වෙනස්ම චරිත තුළිනුත් සජිත ඇන්තනි ප්‍රේක්ෂකයා අතරට යාවි යැයි විශ්වාස කරනවා.

රංගන ශිල්පියෙක් වීම තුළ පමණක් සාර්ථක අධ්‍යක්ෂවරයෙක් විය හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

අධ්‍යක්ෂවරයෙක් වීම හා රංගන ශිල්පියෙක් වීම යන්න සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍රයන් දෙකක්. නමුත් අධ්‍යක්ෂවරයෙක් රංගන ශිල්පියෙක් වීම තුළ අධ්‍යක්ෂවරයාගේ ක්‍රමවේදය ඔහු යටතේ වැඩ කරන රංගන ශිල්පීන්ට වැඩ කිරීමට පහසුවක් විය හැකියි.

මන්ද සමහර කරුණු පැහැදිලි කරනවාට වඩා රඟපෑමෙන්ම පෙන්වීමට එයින් අවකාශ ලැබෙනවා. අධ්‍යක්ෂවරයකු වීමේ සිහිනය මට තිබුණේ අද ඊයෙක නෙමෙයි.

ඒ සිහිනය මං විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ පටන්ම තිබුණු පැරණි සිහිනයක්. එනිසා මං මුලින්ම වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඉන් පසුව කෙටි චිත්‍රපටි දෙකක් වගේම මියුසික් වීඩියෝ දෙකක් කළා. මම එකී කර්තව්‍යයට අවතීර්ණ වුණේ පියවරෙන් පියවරයි. ඒ වගේම හයහතර දැනගෙනයි.

ඇතැම් රංගන ශිල්පීන් පුංචි තිරය රිදී තිරය බෙදා වෙන් කරගෙන සිටිනවා. ඔබත් එවැනි බෙදීමක් කරනවද? නැත්නම් තෝරා ගැනීමේදී එහි ගුණාත්මක පැතිකඩ පමණක් විශ්ලේෂණය කරනවා ද?

අප නිර්මාණයක හොඳ හෝ නරක නිර්මාණකරුවාගේ පැත්තෙන් විශ්ලේෂණය කිරීම අසාධාරණයි. නිර්මාණයකට විවිධ ප්‍රේක්ෂක කුලක වෙන් වෙනවා. සම්භාව්‍ය චිත්‍රපටි පමණක් නිර්මාණය වුණොත් සරල රසවින්දනයක් තිබෙන ප්‍රේක්ෂකයාට මගේ නිර්මාණ මඟ හැරෙනවා.

ඒ නිසා මම එකී ප්‍රේක්ෂකාගාරයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණවලට දායක වෙනවා. මගේ ගීත නිර්මාණය වන්නේත් එකී ධර්මතාව මතයි.

මගේ සංගීත රසවින්දනය කුමන ස්ථානයක පැවතුණත් මම එළිමහන් සංගීත ප්‍රසංගවල ගායනා කරනවා. සෑම රසිකයෙක් ම රසිකයෙක්. ප්‍රේක්ෂකයන්ටත් එය පොදුයි. එකී සෑම කෙනෙකුටම අපට ආදරය කරන්න ඉඩ හසර දිය යුතු යැයි මම විශ්වාස කරනවා. මගේ බෙදීමක් වගේම ප්‍රතිපත්තියක් තිබුණෙ දීර්ඝකාලීන ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවීමටයි.

සමාජයේ ඇසූ පිරූ තැන් ඇති කෙනෙකු වීම රංගන ශිල්පියෙකුගේ භූමිකාවට කොතෙක් දුරට බලපෑම් කරනවාද?

අප පරිකල්පනය කරන්නේ සමාජය ඇසූපිරූ දේවල්වලිනුයි.

මම ආකාසෙ ඉඳගෙන මහපොළො‍ෙව චරිතයක් කරන්න ගියොත් ඒ චරිතය මට සාර්ථකව නිරූපණය කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ.

සමාජයේ කරුණු ඥානනය කරන විට පෙනෙන්නේ නැතිව බලන්න අවශ්‍යයි. ඇසෙන්නෙ නැතුව අසන්න අවශ්‍යයි. ඒ වගේම දැනෙන්නේ නැතුව දනවා ගන්න අවශ්‍යයි.

ජීවත් වන විට පසිඳුරනගෙන් විඥානය කිරීම නළුවෙක්ට විතරක් නෙමෙයි ඕනෑම පුරවැසියෙකුට තමන් කරන වෘත්තියකට අත්‍යවශ්‍ය දෙයක්. එතැනදි රංගන ශිල්පියා විශේෂ වන්නේ ඔහුට හෝ ඇයට නිරූපණය කිරීමට සිදු වන්නේ තමා ජීවත්වන තමන් නොවන කෙනකුගේ චරිතයක් නිසයි.

ඇන්තනී පවුලේ පුරුකක් වීම ඔබගේ ජීවිතයට බලපෑම් කළේ කොහොමද?

මගේ ජීවිතයේ මට ලැබුණු හොඳම වාසනාව ඇන්තනී පවුලේ සාමාජිකයකු වීමයි. අම්මා අප්පච්චි එක්ක කතා කළත් විශ්ව විද්‍යාලයක දේශනයක් ඇසුවා හා සමානයි.

ඔවුන් දෙදෙනාගෙන් මට ලැබුණේ වගේම ලැබෙන්නේ ලොකු ශක්තියක්.

ඒ වගේම මම සමාජීය වශයෙන් වගේම මූල්‍යමය වශයෙන් යම් තැනක සිටිනවා නම් එහි ගෞරවය මගේ අම්මටයි අප්පච්ච්ටයි හිමි විය යුතුයි.

ඔවුන් ලබාදුන් කුසලතාවයෙන් මං ප්‍රයෝජන ගත්තා පමණයි. ඒ කුසලතාවය මට ලබාදුන්නාට ඔවුන්ට මම සදා ණය ගැතියි.

අඳුරු කාල වකවානුවලදී මිනිසුන්ගේ සැබෑ ස්වරූපය දකිනවා යැයි කියනවා වගේම පියා අනතුරට භාජනය වීමත් සමඟම මිනිසුන් විවිධ කතා පැතිරුවා. ඒ වගේම අපහසු කිරීම් සිදු කළා. ඔබට එය දැනෙන්නේ කොහොමද?

මට කේන්තියක් දැනුණේ නැහැ. මට දැනුණෙ සානුකම්පිත හැඟීමක්. මිනිසුන් 99ක් අපට ආදරය කරලා එක්කෙනෙක් වෛර කළාම අප දුවන්නේ අපට වෛර කළ එක් මනුස්සයෙක්ගේ පසුපස පමණයි.

මගෙ අප්පච්චි ලොකු ආදරයකට වගේම ගෞරවයකට පාත්‍ර වූ කෙනෙක්. ඒ නිසා අප දැනුවත්ව වගේම නොදැනුවත්ව බොහෝ දෙනෙක් අප්පච්චිට බෝධි පූජා පැවැත්වූවා. එවැනි ආදරයක් ලැබෙන කොට අප්පච්චිගේ ගමනට ඊර්ෂ්‍යා කරන එක්කෙනෙකුගේ, දෙදෙනෙකුගේ ක්‍රියාදාමයකට අප දුක් විය යුතු නැහැ.

අප මේ ලෝකේ නාස්ති කරන්නේ අප වැඩියෙන් අඬන දවස් කියලයි මට නම් හිතෙන්නේ. හිනාවෙන්න දහසකුත් හේතු තිබියදී එක් හේතුවකට පසුතැවිලි වීම ලොකු අපරාධයක්. ඒ නිසා එකී ගැටලුව සම්බන්ධයෙන් අංශුවකවත් දුකක් නැහැ.

ඔබ අතීතය හා බැඳුණු චිත්‍රපටවලට කොටු වුණු ස්වභාවයක් අපි දකිනවා. එය රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාවය එළිදැක්වීමට බාධාවක් නේද?

ඒ ලංකාව තුළ වගේම ලෝක සිනමාව තුළ අප දකින ගැටලුකාරී තත්ත්වයක්. බොහෝ විට ළමා නළුවෙකුට ඒ කඩඉම පනින්න අපහසුයි.

අපේ රටේ අපත් සමඟ ක්ෂේත්‍රයට පැමිණි ළමා නළු නිළියන් පිරිසෙන් බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයෙන් ඉවත් වුණා. ඇතැමුන් එකී චරිතයටම කොටු වුණා. එය සිනමාව තුළ පවතින යථා ස්වභාවයයි.

එයින් පිට පැනීමට රංගන ශිල්පියා දක්ෂ විය යුතුයි.

සූරිය අරණ, කුරුලු පිහාටු, අබා යන චිත්‍රපටවල ඒකාකාරී ස්වභාවයක් තිබෙන නිසා මම ටික කාලයක් සිනමාවෙන් ඈත් වී සිටියා. ඉන් පසුවත් මට රජ කතාවලට ආරාධනා ලැබුණා. නමුත් මම භාරගත්තේ නැහැ.

ඉන්පසුව මගේ අධ්‍යාපන කටයුතු නිමකර මම වේදිකාවට අවතීර්ණ වුණා. එහිදී වේදිකාව තුළ දැවැන්ත චරිත සමඟ මට රඟපෑමට අවස්ථාව ලැබුණා.

සමකාලීනයන් සමඟ විවිධ පරීක්ෂණාත්මක නිර්මාණ අප සිදු කළා.

ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටි හතර තුළම මගේ වෙනස්ම ස්වරූපයක් ප්‍රේක්ෂකයා දකීවි. මගේ කොටුවීම මං කඩා බිඳ දැමුවා කියලා මම හිතනවා.

කොටුවෙන්න වැඩ ආවත් මං බාර ගන්නේ නැහැ. ප්‍රේක්ෂකයා එක විටෙක මාව නළුවෙක් ලෙසත් තවත් විටෙක ගායකයෙක් ලෙසත් තවත් වෙලාවක නිවේදකයෙක් වගේම සංගීත කණ්ඩායමක නායකයෙක් ලෙසත් දකිනවා. ඒ නිසා එකී අවාසි සහගත තත්ත්වයෙන් මට මිදීමට හැකියාව තියෙනවා.

පුංචි දඟකාර කොලු පැටියෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඒ වගකීම කොහොමද හිතට දැනෙන්නේ…

මම වගේ මගේ බිරියත් පවුලේ බාලයන්. අපි දෙන්නටම චූටි පුතා, චූටි දුව කියලයි මවුපියන් කතා කරන්නේ. ඒ නිසා හිතට ලොකු වගකීමක් දැනෙන්නෙ නැහැ.

තාමත් අපට දැනෙන්නෙ අපි පොඩියි කියලයි. පුංචි පුතා ලැබුණාම ජීවිතයේ වගකීම් ගොඩක් එකතු වුණා. නමුත් මමත් බුවීත් කැමති ජීවිතය සරලව සැහැල්ලුවෙන් ගෙවන්න. අපගේ හිත් තුළ ප්‍රශ්න වේදනා තිබුණත් අපගේ දරුවාට දුක වේදනාව ලබාදිය යුතු නැහැ කියන මතයකයි මම සිටින්නේ.

අපේ අප්පච්චි අසනීප වුණාම සමහර ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍යවල ප්‍රශ්න කෙරුවා අප්පච්චි ලෙඩ ඇඳේ ඉද්දි ඔයාලා කොහොමද කන්නෙ බොන්නෙ විනෝද වෙන්න කියලා.

අප මිනිස්සුන්ගේ රසවින්දනය වෙනුවෙන් පෙනී සිටින කොටසක්.

හිතේ තියෙන ප්‍රශ්න වේදනා සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්නුම් කරන්න කිසිම අවශ්‍යතාවයක් අපට නැහැ. ඒ වගේම හය හතර නොදන්න මගේ පුංචි දරුවා ඔහුගේ උපන් දිනයට කේක් එකක් කපන්න අවශ්‍ය නැද්ද?, නත්තලට නත්තල් ගහක් හදන්න ඕන නැද්ද?…

පුංචි දරුවාගේ ජීවිතයේ එක් එක් පියවරයන්වලදී සුන්දර දේවල් අප එක් කරන එක වැරදිද.

අප දුකින් වේදනාවෙන් සිටියත් දරුවන්ගේ ජීවිත සුන්දරත්වයෙන් පුරවන එක අපේ වගකීමක්. දැනුම් තේරුම් ඇති කාලයක කියා දීමට හැකියාව තිබුණත් දැන් එයට සුදුසු කාලය නෙමෙයි.

මෙන්න බලන්න තවත් පුවත්