ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් හට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව නීති විරෝධී ලෙස මෙරට කාන්තාවක විසින් ගෙන එන ලද කෝටි 11කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සහ රන් භාණ්ඩ තොගයක් ඇතුළු ද්‍රාවණයක් ලෙස සකස් කළ රත්‍රන් කුඩු තොගයක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

අදාළ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දියානු ආදායම් බුද්ධි අංශයේ සහයෝගය ද ලැබී ඇත.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ අදාළ කාන්තාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයෙන් ගුවන් ගමන් ආරම්භ කොට ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඉන්දියන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව ද එහිදී ඇය අත්අඩංගුවට ගත් බවයි.

සැකකාරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි . ඇයගේ ගමන්මලු තුළ එම රත්‍රන් තොගය සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවත් එම රත්‍රන් තොගය අතර කැරට් 24 මාල, මුදු සහ වළලු, කැරට් 24 රත්තරන් තහඩු 27ක් සහ ද්‍රව රත්‍රන් කැප්සූල් 8ක් තිබූ බවත් එම ස්වර්ණාභරණවල ඉතා සූක්ෂ්ම ලෙස රීදී අලේප කර තිබූ බව ත් රේගුව සඳහන් කරයි. රන් තහඩු බැංකු කාඩ්පත් ලෙස රේගු නිලධාරීන් මුලා කිරීමට හැකිවන ලෙස සකස් කර තිබූ බව ද රේගුව කියයි.

ස්වර්ණාභරණ සහ රන් තහඩුවල මුළු බර ප්‍රමාණය ග්‍රෑම් 4,892ක් වන බව ත් රේගුව සඳහන් කරන අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් 111,550,000ක් වන බව ත් රේගුව ප්‍රකාශ කළේය. කැප්සූල් 8 තුළ ද්‍රවණයක් ලෙස සඟවා තිබූ රන් කුඩු තොගයේ වටිනාකම තවමත් ගණන් බලා නොමැති බව ත් එහි බර ප්‍රමාණය ග්‍රෑම් 2,222ක් වන බව ත් රේගුව සඳහන් කරන අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශ ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂණ නිලධාරීන් විසින් පවත්වනු ලබන බව ද රේගුව ප්‍රකාශ කළේ ය.

එම විමර්ශන අවසානයේදී සිද්ධියට අදාළව රේගු පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ද රේගුව වැඩිදුරටත් සඳහන් කරයි.

Source – mawbima

මෙන්න බලන්න තවත් පුවත්