මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් විකාශනය වන පාරදිගේ ටෙලිනාට්‍යයේ සචිනිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා අතුකෝරාල කියලා කියන්නේ. ඒ වගේම ඇයගේ ආදරණීය පියාණන් තමයි කවුරුත් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරාල මහතා. ඉතින් කලා පරපුරකින් පැවත එන ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය පාරදිගේ ටෙලි නාට්‍යයට ඉස්සෙල්ලා ආත්මා කියලා ටෙලි නාට්‍යය හරහා තමයි රංගන ක්ෂේත්‍රයට එකතු වුණේ. ඉතින් ඊට පස්සේ ඇය රංගනයෙන් දායක වුන ටෙලි නාට්‍යය තමයි පාර දිගේ කියලා කියන්නේ. ඒ වගේම නීල පබළු වගේ ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා කරලා තියෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇයට කලාවට එන්න ලොකු ආසාවක් තිබුණේ නැහැලු. ඒත් ඇයට පුංචි කාලේ ඉදන්ම නිවේදිකාවක් වෙන්න නම් ලොකු ආසාවක් තිබුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම කවදාවත් කලාවට එන්න කියලා ඇයගේ තාත්තාවත් අම්මාවත් කවදාවත් කියලත් නැහැලු. හැබැයි ඇයගේ හැකියාව නිසා අද රංගනයට අවස්ථාව ලැබිලා තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් සද්ධා මංගල සූරියබණ්ඩාර මහතා ඇයට පාර දිගේ ටෙලිනාට්‍යයට එන්න කිවුවම ඒ හම්බ වෙච්ච අවස්ථාව නැති කරගන්න ලෝබ හිතුණා කියලයි ඉෂාරා නම් කියන්නේ. ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න සියලු දෙනාගෙන්ම අද ඇයට හොඳ සහයෝගයක් ලැබෙනවාලු. ඉතින් ඇයගේ තාත්තට ක්ෂේත්‍රය තුළ ලැබෙන ගෞරවය හින්ද ඇයටත් ඒ ගෞරවය ලැබෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය අද වෙනකම් ඇයගේ පියාගේ ගෞරවය ආරක්ෂා කරමින් ඇයට ලැබෙන ගෞරවය සමාජයේ සියලු දෙනාටම ලබා දෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම තමන් දක්ෂයෙක් නම් කාගේවත් ළඟට ගිහින් නැවෙන්න ඕන නෑ කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ලැබුණු හොඳම නාට්‍යයේ ඇයගේ තාත්තත් එක්ක රඟපාන්න ලැබීම ලොකු වාසනාවක් කියලත් ඇය කියනවා. මොකද එහෙම අවස්ථාවක් ලැබෙන්නේ එහෙමත් කෙනෙකුට නිසා. ඒ වගේම ඇයගේ ජීවිතේ ඇය වැඩි හරියක්ම ආසා කරන්නේ ඇයගේ අම්මා තාත්තා එක්ක සහ මගේ සැමියාත් එක කාලය ගත කරන්නලු.

කොහොම නමුත් ඇය දැනට නිර්මාණ 6කට විතර රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ අතරින් ටෙලි නාට්‍ය හතරක් තියෙනවා. ඒ ආත්මා, පාර දිගේ නීල පබළු සහ අලුතෙන් රූගත කරන නාට්‍යයක්. මීට අමතරව ඇය සිනමාපටයකට ද රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් තව ඉදිරියේ නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායකවීමටත් අවස්ථාව උදාවෙලා තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

පැරණි පුවත්

ඇමෙරිකාවේ සුද්දන්ට ගෙවල් විකුණන බොරලැස්ගමුවේ රවිඳු

ආදර්ශමත් තරුණයෙකි. මෙරට නොව, එරට ජීවත් වන අපේ කොල්ලෙකි. හේ රවිඳු බෝපිටිය විදානගමගේ ය. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකාරණය පිළිබඳ උපාධියක් ලබා ඇති හේ විසිහය හැවිරිදි භද්‍ර යෞවනයෙකි. එහෙත් ඔහු වෙනස් චරිතයකි. හේ දකිනුයේ තාරුණ්‍යයයේ විඳීම නොව, අනාගතයේ දියුණුවය ගැන ය. එහෙයින් ඔහු නන්නාඳුන රටක ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු විසිඑකේ දී ය. ඒ ඔහු ලබා ඇති විශේෂ උපාධියට ගැළපෙන ආනයන, අපනයන ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නොවේ, ඇමෙරිකාවේ මිනිසුන්ට ගොඩනැඟිලි සැලසුම් කරදීම සහ නිවාස ගොඩනැඟිලි සොයාදීමේ ව්‍යාපාරය යි.

“මම මේ විෂයට හරිම කැමැතියි. අපි පුංචි කාලේ තාත්තා ඉඩම් මිලදී ගන්නකොට මම ගොඩක් සතුටු වුණා. ඒත් අපේ තාත්තා ඉඩම් බිස්නස් කළේ නෑ. මම ඒ බිස්නස් එක පටන් ගත්තා…” කතා නායකයාගේ මුව විවර විය. හේ කඩවසම් තරුණයෙකි. සුදු බෝල ගෙඩියක් වැනි ය. ප්‍රසන්න ය. පියකරු ය. මුව සමග එකට කතා කරන දෑස් සිත් වසඟයට පත් කරන සුලු ය.

ගැඹුරු කටහඬ ද දෙසවනට ගෙන දෙන්නේ මිහිරකි. නව වසරට මවුපිය ආශීර්වාද ලබාගැනීම සඳහා උපන් රටට පැමිණ සිටින රවිඳුව අපට ද මුණගැසිණි. හේ මෙරට පදිංචි බොරලැස්ගමුවේ ය. ඔහුගේ පියා කරුණාසේන ගමගේ ය. මව චමිලා වික්‍රමසිංහ ය. රවිඳු, ගමගේ පවුලේ දෙවැනි දරුවා ය. ඔහුට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටිති.

“මම ලංකාවේ ඉගෙනගත්තෙ නුගේගොඩ ලයිසියම් ඉන්ටර්නැෂන් පාසලේ. මට වයස අවුරුදු දහයක් වෙනකොට 2008 අවුරුද්දෙ අම්මා, තාත්තා මාව ඇමෙරිකාවට එක්කරගෙන ගිහින් ලොස්ඇන්ජලීස්වල පාසලකට ඇතුළත් කළා. ලංකාවේ ඉන්ටර්නැෂන් ස්කූල් එකක ඉගෙන ගත්ත නිසා ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අපහසු වුණේ නෑ. පාසල් අධ්‍යාපනය හොඳින් කරගෙන ගිහින් වයස අවුරුදු දහඅටේ දී විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සහ ආනයන, අපනයන ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් විශේෂ උපාධිය හදාරමින් සිටින අතරතුර පොඩි, පොඩි රැකියා කළා. උපාධි පාඨමාලාවේ අධ්‍යයන කටයුතු අවසාන වී ගෙන එනකොට නිවාස විකිණීමේ බිස්නස් එකක් ආරම්භ කරන්න අදහස පහළ වුණා. ඒත් ඇමෙරිකාව වැනි රටක ව්‍යාපාර කරනවා කියන්නෙ විශාල අභියෝගයක්. මට බියක් දැනුනෙ නෑ. මගේ හිත නිතරම කිව්වේ ‘උඔට පුළුවන්… කරලා බලපං’ කියලා…”

පිටරටවල උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන මෙරට බොහෝ තරුණ, තරුණියන් රැකියා කටයුතුවල නිරත වන බව සැබෑ ය. එහෙත් අධ්‍යාපන කටයුතුවල නියැළෙන අතරතුර ව්‍යාපාර කරන ලාංකීය තරුණ, තරුණියන් ගැන අසන්න ලැබෙන්නෙ කලාතුරකිනි. විශේෂයෙන් ම පිටරට වැසියන්ට නිවාස, වෙනත් ගොඩනැඟිලි සොයාදීම සහ ඔවුන්ට අවශ්‍ය ආකාරයට පරණ ගොඩනැඟිලි සිත්ගන්නා ආකාරයට නිර්මාණය කරදෙන ශ්‍රී ලාංකික තරුණයෙක් ගැන අසන්න ලැබීම ද සිතට සතුටකි. මවුපිය රැකවරණයෙන් මිදී නිදහසේ ජීවත්වන මෙරට ඇතැම් තරුණ, තරුණියන් ඒ රටවල නටන ජෝගි ගැන වාර්තා වන ආකාරයට කඩවසම් සුන්දර තරුණයෙක් වන රවිඳුගේ දියුණුවේ කතාව කනවැකෙන විට ඔහු කෙරෙහි උපදින්නෙ ආඩම්බරයකි. එමෙන් ම වයස අවුරුදු දාහයේ සිට ඇමෙරිකාවේ ජීවත්වන ඔහුගේ සිංහල කතා කිරීමේ හැකියාව ද ඉහළින්ම තිබීම විශේෂත්වයකි.

“අපේ භාෂාව සිංහල. අපි කොහේ ජීවත් වුණත් රට, ජාතියට, ආගමට ගරු කරන්න ඕනෑ. ඇමෙරිකාවේ දී වුණත් ලංකාවේ කෙනෙක් මුණගැසුණු හැටියේ මම කතා කරන්නෙ සිංහලෙන්. ලංකාවට ආ විට පුළුවන් තරම් උත්සාහ කරන්නෙ සිංහලෙන් කතා කරන්න. ඒ වගේම නිතර ම මම හිතන්නෙ අද මහන්සි වුණොත් හෙට සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒ දේවල් අපිට කියා දුන්නෙ දෙමවුපියෝ. ‘මෙහෙම ජීවත් වෙන්න… අරම ජීවත් වෙන්න…’ කියලා අපි පුංචි කාලෙ ඉඳලා අම්මා, තාත්තා උපදෙස් දුන්නා. අපිව නිවැරැදි අධ්‍යාපනයට යොමු කළා. අයියයි, මමයි, නංගියි තුන්දෙනාම ලංකාවේ ඉගෙනගෙන ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබුවා. නංගි වෛද්‍යවරියක් වෙන්න තවම ඉගෙනගන්නවා. ඇමරිකාවේ මගේ ගෙදර දැනට ජීවත් වෙන්නෙ මමයි, නංගියි විතරයි. අපි දෙන්නා උයා පිහාගෙන කාලා, දුක සැප බෙදාගෙන ජීවිත කළඑළි කරගැනීමට වෙහෙසෙනවා…”

අවුරුදු විසිඑකේ දී ව්‍යාපාර කටයුතු ආරම්භ කළ රවිඳු මේ වනවිට ඔහුගේ ම නමින් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන්නේ ය. එම ආයතනයේ රවිඳු යටතේ ඇමරිකන් ජාතික තරුණ, තරුණියන් දසදෙනෙකු සේවය කරන බව ද ඔහු අපට කීවේ ය. එම ආයතනයේ ප්‍රධාන රාජකාරිය නිවාස මිලදීගැනීමට එන අයට සේවය ලබාදීම ය. එමෙන් ම වසර අටක් වැනි කෙටි කාලයක් තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් ලබමින්, ඇමෙරිකාව වැනි රටක ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කොට එරට තරුණ, තරුණියන්ට රැකියා ලබාදීමට රවිඳු දක්‍ෂ වී සිටී ම අපේ රටට ද අභිමානයකි.

“බිස්නස් එකට බැස්ස දවසෙ ඉඳලා දවසට පැය හතරක්වත් නිදාගත්තෙ නෑ. විනෝද ගමන්, පාර්ටි මගේ දින චර්යාවෙන් කාලෙකට ඈත් කළා. දවස් හතම වැඩ කළා. කරන දේ ආශාවෙන් සහ කැපවීමෙන් කළා. ඒත් නිවාස විකුණන්න පටන්ගෙන පළමු අවුරුදු දෙක තුළ එකම නිවසක්වත් විකුණගන්න බැරි වුණා. මම සැලුනෙ නෑ. වෙනත් රැකියා කරන ගමන් නිවාස වෙළෙඳාම ගැන අධ්‍යයනය කරමින් ඒ සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාගත්තා. මගෙත් හොඳ වේලාවට හැම දෙයක්ම නිරවුල්ව ඉගෙනගන්න පුළුවන්මක ලැබුණා. ඒ කැප කිරීමට මේ වෙනකොට ඉහළින් ම ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ගෙවී ගිය වසර දෙක තුළ පමණක් නිවාස අසූවකට වැඩි ගාණක් විකුණලා තියෙනවා. පහුගිය මාර්තු මාසෙ විතරක් නිවාස දහයක් විකුණුවා. මේ වනවිට සතුටු විය හැකි ආදායමක් උපයාගෙන තියෙනවා. එමෙන්ම ලොස්ඇන්ජලීස් නුවර නිවාස වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයන් අතර මට හොඳ පිළිගැනීමක් තියෙනවා. මගෙන් සේවය ලබාගැනීමට පැමිණෙන බොහෝ අය පරණ නිවාස මිලදීගෙන ප්‍රතිසංස්කරණය කර නැවත විකුණන ව්‍යාපාරිකයන්. ඒ අයගේ අවශ්‍යතාව හඳුනාගෙන මම උපරිම සේවයක් ලබාදෙනවා. දැන් ඔවුන්ටත් මගේ සේවය ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. නිතරම ව්‍යාපාරය ගැන අධ්‍යයනය කරන නිසා මේ වනවිට මට හොඳ පළපුරුද්දකුත් තියෙනවා. පරණ ගොඩනැඟිල්ලක් පරීක්‍ෂා කරනකොට තිබෙන වටිනාකම සහ ප්‍රතිසංස්කරණ කටයුතුවලට වියදම් වන මුදල සහ නැවත මිල කළ හැකි මුදල තීරණය කිරීමේ හැකියාව මට තියෙනවා. ඒ පළපුරුද්ද සහ ප්‍රසිද්ධිය නිසා නිවාස අලුත්වැඩියාව සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට ඇමෙරිකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් මා ළඟට එනවා. ඒ අයට මුදල් තිබුණට, පුරවැසියන් වුණාට ඉඩම්වල වටිනාකම, අලුත්වැඩියාවට කොපමණ මුදලක් වැය වෙයි ද යන්න තීරණය කරන්න අපහසුයි. මේ වෙනකොට ඇමරිකාවේ පළාත්, නගර අනුව ඉඩම්වල වටිනාකම ගැන මට හොඳ දැනුමක් තියෙනවා. මේ වසර හතර තුළ නිවාස දහකට වැඩි සංඛ්‍යාවක් පරීක්‍ෂා කර තියෙනවා. වටිනාකම, ප්‍රතිසංස්කරණයට යන වියදම මත නිවාස මිලදී ගැනීම තීරණය කරනවා…”

“ඒ වගේම ඇමෙරිකාවේ ව්‍යාපාර කරගෙන යෑම පහසු නෑ. පිටරට කෙනෙක් එරට ව්‍යාපාර කරනකොට බදු අය කිරීම ඉතා වැඩියි. වසරකට 47% ක් විතර මම බදු ගෙවනවා. ඒත් කිසිම සහනයක් නෑ. ව්‍යාපාර සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්න, උදව්වක් ඉල්ලගන්න කිසිම කෙනෙක් නෑ. මේ ව්‍යාපාරයේ ප්‍රවීණයෝ, ආධුනිකයන්ට නැඟිටින්න දෙන්නෙත් නෑ. ඒක මොන රටෙත් එකයි. ‘ඒ අයට කරන්න පුළුවන් නම් අපිටත් කරන්න බැරිකමක් නෑ…’ එහෙම හිතාගෙන මොළේ පාවිච්චි කරලා ගමන යනවා. තව යන්න තියෙන දුර වැඩියි. ඒත් ඇමෙරිකාව වගේ රටක ව්‍යාපාර කරලා තනියෙන් නැඟිට්ට ට පස්සෙ ඕනෑම රටක ව්‍යාපාර කරන්න පුළුවන්. දැන් මගේ ප්‍රධාන ඉලක්කය ආයතනය තව, තවත් දියුණු කිරීම. ඇමෙරිකාවේ විවිධ පළාත්වලින් පරණ නිවාස මිලදීගෙන අලුත්වැඩියා කොට අලෙවි කිරීමට සැලසුම් කර තියෙනවා. ඒ වගේ ම ලංකාවෙත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරගෙන යනවා. ඒ සමග මගේ උපාධියට අනුව ලෝකය පුරා රට, රටවල් සමග ආනයන, අපනයන වෙළෙඳාම කරගෙන යෑමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. 2023 වර්ෂය තීරණාත්මකයි. මීටත් වඩා මහන්සි වෙන්න වෙනවා. ප්‍රධාන අරමුණ වයස අවුරුදු තිහ වෙනකොට මගේ ඉලක්කය සම්පූර්ණ කිරීම. දෙරට අතර ව්‍යාපාර කටයුතු දියුණු කරගත්තට පස්සෙ සේවකයන්ට භාරදීලා පරිපාලනය කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. ඒ වගේම ඉඩම්, ආහාර වෙළෙඳාමට කොපමණ මුදල් ආයෝජනය කළත් බය වෙන්න දෙයක් නෑ. මිනිසුන්ගෙ පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය වගේ ම, ජීවත් වෙන්න මහ පොළොවෙන් ඉඩක් තියෙන්න ඕනෑ. ඒ නිසා ලෝකය පවතින තුරු ආහාරවලට සහ ඉඩම්වලට තියෙන වටිනාකම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ. මගේ සියලු ව්‍යාපාර ආරම්භ කෙරෙන්නෙ පොළොව සහ ආහාර මත…”

“මට තියෙන ලොකු ම සතුට මම බිස්නස් කරන්නෙ මගේම ශක්තියෙන් සහ මම උපයාගත් මුදල්වලින්. බිස්නස්වලට කියලා තාත්තාගෙන් රුපියලක් ඉල්ලගෙන නෑ. මේ වෙනකොට ඇමරිකාවේ මට ම කියලා ව්‍යාපාරයක් තියෙනවා. ගෙවල් දෙකක් තියෙනවා. පරණ නිවසක් අංගසම්පූර්ණ ආකාරයට ප්‍රතිසංස්කරණය කර තියෙනවා. අක්කර බාගයක ඉඩමක කාමර තුනක් සහිත විශාල නිවසක්. එම නිවස මම මිලදී ගත්තෙ ඇමරිකන් ඩෝලර් කෝටි හතරකට. සම්පූර්ණයෙන් ම නිවස වෙනස් කර, ගාඩ්න් එක ලස්සනට හැදුවා. දැන් එම නිවසෙ වටිනාකම කෝටි හතකට වැඩියි. ඒ නිවස පිහිටා තියෙන්නෙ අභය භූමියක් මායිමේ. නිවස වගේම ගාඩ්න් එකත් ලස්සනට තියෙන නිසා සංචාරකයන්ගේ ආකර්ශනය වැඩියි. අභය භූමියේ සතුන් නැරඹීමට පැමිණෙන සංචාරකයෝ දවස් තුන හතර අපේ ගේ කුලියට ගන්නවා. හැමදාම බුකිං වැටෙනවා. ඒ වගේම මම හදන නිවාසවලට ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම භාවිත කරනවා. එහෙම නිවාසවලට ඇමරිකන් ජාතිකයන් දැඩි කැමැත්තක් දක්වන බවත් පේනවා. මම කුලියට දෙන නිවසට නිතර ම සංචාරකයන් එන්නෙ නිවාසවල තියෙන ලස්සනට සහ නිදහස් බවට කියලා මම හිතනවා. තව නොබෝ කාලයකින් තවත් පරණ ගෙයක් මිලදී ගන්න බලලා තියෙනවා. ඒකත් හොඳට ම හදලා රෙන්ට් කරනවා. පිළිවෙළට, ලස්සනට ගෙවල් හදනවා නම් ඇමෙරිකාවේ ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම දවසින්, දවස දියුණු වෙනවා…”

“තරුණයෙක් විදිහට අපේ රටේ කොල්ලන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ආතල් ගන්න ඕන. ඒත් ජීවිතයට ටාගට් එකක් තියෙන්න ඕනෑ. ජීවිතය ගොඩ දාගන්න තීන්දු තීරණ ගන්න හොඳම කාලය වයස අවුරුදු විසිපහ, තිහ. ඒ නිසා තමන්ට හොඳයි කියලා හිතෙන යහපත් දේවල් කරන්න හිතා බලන්න එපා. මේක තමයි දෛවයෙන් මට උරුම දේ කියලා හිතාගෙන සතුටින් සහ කැපවීමෙන් හිතෙන දේ කරගෙන යන්න ඕනෑ. ඒ වගේම තමන්ට හොඳයි කියන දේ කරන්න තව අයගෙන් අහන්න යන්නත් ඕන නෑ. ඒක ඔළුව විකාර කරගැනීමක්. ඒ නිසා තමන් කැමැති දේ කරලා කට්ට කෑමත් සැපක්. මම නම් හිතන්නෙ එහෙමයි. ඒ වගේම අපි මේ ලෝකයට ඇවිත් තියෙන්නෙ ලැබෙන විදිහට ජීවත් වෙලා මැරිලා යන්න නෙමෙයි. අලුත් විදිහට හිතලා තම හැකියාවන් තුළින් දියුණු වෙලා රටට යමක් කරලා යන්න. ඒකට හොඳම රට ලංකාව බව තේරෙන්නෙ පුංචි කාලේ ඉඳලා පිටරට ජීවත්වන නිසා. මේ රටේ තියෙන සම්පත්වල වටිනාකම ගැන කතා කරන්නෙ ඒ රටවල ව්‍යාපාරිකයෝ. මම ලෝකෙ කොහේ හිටියත් මැරෙන්නෙ ලංකාවේ. පිටරටවල ඉන්න ලංකාවේ බොහෝ දෙනෙක් කියන්නෙ ඔය කතාව තමයි. ලංකාව වගේ රටක් ලෝකෙ කොහේවත් නෑ. දැක්මක් සහිත නායකත්වයක් තියෙනවා නම් මේ රට ගොඩ දාන්න අමාරු දෙයක් නෙමෙයි. ඒ වගේම රටේ තරුණ, තරුණියොත් බුද්ධිමත්ව වැඩ කරන්න ඕනෑ…”

රවිඳුගේ ආදර්ශමත් කතාව හැදෙන තරුණ, තරුණියන්ට මසුරන් වටින පාඩමකි. ‘ලංකාවේ ජීවත් වෙන්න බෑ, රටකටවත් යන්න ඕනෑ…’ කියා හිතන තරුණ, තරුණියන්ගේ මැටි මෝල් අදහස් වෙනස් කරන කතාවකි. එමෙන් ම රවිඳු වැනි තරුණයන් මෙරටට සම්පත් ය. දේශපාලනය කරන සහ මැති, ඇමැතිවරුන්ට බැල මෙහෙවරකම් කොට රාජ්‍ය ආයතනවල ඉහළ පුටු රත් කරන ගොබ්බසේනලාට වඩා රවිඳු වැනි දැක්මක් සහිත තරුණයන් මෙරට සංවර්ධනය සම්බන්ධයෙන් තීන්දු, තීරණ ගන්නා ආයතනවල ඉහළ තනතුරුවලට පත් කළ යුතුය. එහෙත් උපන් රට කෙරෙහි ඇල්මක් නැති රුපියල් ශත හමුවේ ඕනෑම මගඩියක් කරන, උගත්කමක් නැති මෙරට දේශපාලනඥයන්ට රවිඳු වැනි උගත් බුද්ධිමත් දැක්මක් සහිත තරුණයන් නයාට අඳුකොළ වැනි ය. මෙරට දේශපාලනඥයන්ගේ පැවැත්ම රඳාපවතිනුයේ උගත්, බුද්ධිමත් තරුණ, තරුණියන් ඉස්මතු නොවීම තුළ ය. එවැනි කාලකණ්ණි දේශපාලනඥයන් තීන්දු, තීරණ ගන්නා රටක ජීවත්වන අපි ඇමෙරිකාව වැනි දියුණු රටක දිරියෙන් නැඟිටින රවිඳුගේ සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්වේවායි ප්‍රාර්ථනා කරමින් ඔහුට සමු දුන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්