කාලෙන් කාලෙට විවිධාකාර ඇප් ලෝකෙට හඳුන්වා දෙනවා. ඒ විධියට මිනිස්සු අතිවිශාල සංඛ්‍යාවක් වැලඳගත් ඇප් එකක් තමයි ටික්ටොක් කියලා කියන්නේ. ලංකාව වගේම ලෝකයේ බොහෝ රටවල විවිධාකාර ටික්ටොක් තරු බිහිවෙනවා.

නමුත් ටික්ටොක් කරන කෙල්ලො කියූ පමණින් ලංකාවේ අපිට මැවිලා පේන්නේ ටිකක් වෙනස් විධියෙ ප්‍රතිරූප ටිකක්. ටික්ටොක් කියලා කියන්නේ සින්දුවකට නටන එක විතරක් නෙවෙයි. විවිධාකාර හැකියාවන් තිබෙන මිනිස්සු තමන්ගේ හැකියාවන් ලෝකෙටම පෙන්වන්න ටික්ටොක් යොදාගන්නවා. අන්න ඒ විධියට ටික්ටොක් නිසා ලෝකෙම හඳුනාගත්තු තරුවක් තමයි අබීර් එල්. සහීර් කියන්නේ.

සූපවේදයට තමාගේම අනන්‍යතාවක් ලබාදුන් සුරූපී සූපවේදිනියක් වන අබීර් එල්. සහීර් මැදපෙරදිග පළමු ටික්ටොක් තාරකාවයි. විවිධ රටවල ආහාර වට්ටෝරු සාදන ටික්ටොක් වීඩියෝ විශාල ප්‍රමාණයක් ඇය සිදුකර තිබෙනවා. මෙම වීඩියෝ නැරඹීමට ලොවපුරා මිනිසුන් කැමැත්තක් දක්වනවා. ඒ නිසාම අබීර්ගේ ටික්ටොක් ගිණුමේ මිලියන 19.1 ඉක්ම වූ ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් සිටීම විශේෂත්වයකි.

තුර්කියේ ඉස්තාන්බුල්හි ජීවත් වන ඇය 1998 වසරේ සැප්තැම්බර් 24 වැනිදා උපත ලැබීය. මේ වනවිට වයස අවුරුදු 24ක් වන ඇය තුර්කි විශ්වවිද්‍යාලයෙන් ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගෙන ඇත. ඇය ඉවුම් පිහුම්වලට අමතරව පින්තාරු කිරීම, චිත්‍ර ඇඳීම සහ වෙනත් කලා කටයුතුවලටද උනන්දුවක් දක්වන තරුණියකි.

අබීර් සැබැවින්ම සුරූපී තරුණියකි. ඇය හිජාබයක් පැලඳ සිටින අතර කිසිදු විටෙක හිසකෙස් නොපෙන්වයි. ඇයගේ ටික්ටොක් වීඩියෝවල ඇය ඇඳ සිටින්නේ ඉතා ආකර්ෂණීය ඇඳුම්ය. එම ඇඳුම් ලා අබිර්ස් නම් ඇයගේම කාන්තා ඇඳුම් සාප්පුවෙන් ලබාගත් ඒවා වීමත් විශේෂත්වයකි. එමෙන්ම වළලු, මුදු සහ ඔරලෝසු පලඳනාවන් ලෙස ඇය භාවිත කරයි. අබීර් සූපවේදිනියක ලෙස අනෙක් සූපවේදිනියන්ට වඩා සුවිශේෂී වන්නේ සූපවේදී කලාවට ඇයගේ ලාලිත්‍ය සහ සුන්දරත්වය මුසු කර ඇති නිසාය. ඇයටම ආවේණික වූ ක්‍රමවේදයකට ආහාර පිසින අබීර් සරාගී ලාලිත්‍යයක් අනුව විටෙක රංගනයක් සිදුකරන ආකාරයට ඉවුම් පිහුම් සිදුකරයි. අබීර් එල්. සහීර් පවසන පරිදි පසුගිය වසරේ එනම් 2021 පෙබරවාරි මාසයේ නිරෝධායන කාලසීමාව අතරතුර ඇයගේ ගමන නවමු ආරකින් ආරම්භ කර ඇත. සූපශාස්ත්‍ර කලාවට ඇති ආදරය අන් අය සමඟ බෙදා හදා ගැනීමට අබීර් යොදාගන්නේ ටික්ටොක් ඇප් එකයි.

ලෝකයේ විවිධ රටවල රසවත් ආහාර පිසින වීඩියෝ ටික්ටොක් ඔස්සේ බෙදාහරින ඇය ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳව අවධානය යොමු කිරීම සුවිශේෂීම සිදුවීමයි. 2021 වසරේ ලංකාවේ චිකන් කොත්තු රොටි රෙසිපිය ටික්ටොක් වීඩියෝවක් කිරීමට තෝරාගෙන තිබිණි. චිකන්, පරාටා ආදී කොත්තුව සෑදීමට අවශ්‍ය දේවල් ඉතා අපූරුවට පෙන්වමින් නරඹන්නන්ට කොත්තු කෑමට ආශාවක් ඇතිවන අන්දමට අබීර් ටික්ටොක් වීඩියෝවක් බෙදාහැර තිබිණි.

චිකන් කොත්තු රොටි ටික්ටොක් වීඩියෝව සඳහා අබීර් තෝරාගෙන තිබුණේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය වීමද විශේෂත්වයකි. මෙම ටික්ටොක් වීඩියෝව නරඹන විට ලාංකිකයන් වශයෙන් අපගේ සිත් තුළ ඇති වන්නේ අමුතුම හැඟීමකි. එයට එක් හේතුවක් වන්නේ අපේ රටේ ගීතයක් තෝරාගෙන තිබීමයි. මැදපෙරදිග යුවතියකගේ ටික්ටොක් රංගනයට සිංහල හඬ මුසු ගීතය එක්වූ විට එහි රසවත් බව තව තවත් වැඩි වී ඇත. ලංකාවේ දේශීය කුළුබඩු වන ඉඟුරු, සුදු ලූනු, ගම්මිරිස් වැනි ද්‍රව්‍ය චිකන් කොත්තුව සෑදීමට අබීර් යොදාගනී. හැකි තරම් ලංකාවේ අනන්‍යතාවට සහ රෙසිපියට ගරු කිරීමට මෙහිදී ඇය අමතක නොකරයි. ඇය චිකන් කොත්තු මෙන්ම ශ්‍රී ලාංකික ක්‍රමයට බත් සහ ව්‍යාංජන කිහිපයකුත් පිසින ටික්ටොක් වීඩියෝ සිදුකර තිබුණා.

අබීර් සිය වීඩියෝව අවසානයේ ලංකාවේ කොඩිය කොත්තුවේ උඩින් සිටුවන්නේ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ නිහතමානී ආඩම්බරයක් මුසු ආදරයක් ඇති කරවමිනි. ඇයගේ මෙම වීඩියෝව විශාල සංඛ්‍යාවක් නරඹා ඇති අතර ලාංකිකයන් ඉතා ආඩම්බරයෙන් යුතුව මෙම වීඩියෝවට ප්‍රතිචාර දක්වා තිබේ. එහිදී බොහෝදෙනා පැවැසූයේ ‘I’m Sri Lankan’ යනුවෙනි. අප ශ්‍රී ලාංකිකයන් බව ආඩම්බරයෙන් පැවැසීම මිනිසකුට සෑමවිටම සිදු කළ නොහැකිය. එසේ කීමට සිත් දෙන්නේ සැබැවින්ම අපේ රට පිළිබඳ ආඩම්බරයක් ඇති වූ විටය. අබීර් මෙම වීඩියෝව මඟින් එකී ආඩම්බරය සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදුනි. එමෙන්ම ටික්ටොක් යනු කාන්තාවන්ට නිරුවතින් රැඟීමට වේදිකාවක් නොවන බවත් ඕනෑම පුද්ගලයකුගේ කුසලතාවන් ලෝකවාසීන් සමඟ ආදරණීයව බෙදා හදා ගැනීමට මහඟු තෝතැන්නක් බවත් අබීර් එල්. සහීර් ලොවටම කියාපෑවාය.

චමෝදි පෙරේරා – මව්බිම

පැරණි පුවත්

ගමන් ගාස්තුව වෙනුවට සුද්දීයෙක්ගෙන් අමුතු විදිහේ ගෙවීමක් ඉල්ලු ත්‍රිරෝද රථ රියදුරා

ප්‍රංශ ජාතික කාන්තාවකගෙන් කුලී ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට එක්වන්නැයි අරාධනා කළ ත්‍රිරෝද රථ රියැදුරකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත නිදහස් කර තිබේ.

එසේ නිදහස් කළ සැකකරු ඊයේ (12) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණි. පසුගිය ජනවාරි 02 දා සිදුවී තිබූ මෙම සිද්ධිය පැමිණිල්ලට අනුව සැකෙවින් මෙසේය.

රැකියා වීසා මත මෙරට රැඳී සිටි 35 හැවිරිදි අදාළ ප්‍රංශ ජාතික කාන්තාව සිද්ධිය වූ දින කොල්ලුපිටිය ප්‍රදේශයේදී කුලී ගමනක් සඳහා කුලී ගමන් සේවා සපයන ආයතනයකට ලබාදුන් පණිවිඩයට අනුව පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරුට ගමනාන්තය සඳහන් කර බැංකු කාඩ්පතක් මගින් මුදල් ගෙවිය හැකිබව පවසා තිබේ. මෙහිදී එය ප්‍රතිෂේප කර තිබෙන රියදුරු ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට ඇයට ආරාධනා කර තිබේ.

මෙහිදී එම රියැදුරුට බැණවැදී එලවා දැමු ඇය අදාළ සිද්ධිය ඉන් දින දෙකකට පසු එනම් ජනවාරි 04 දා ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම කාර්යාංශය අකුරණ පදිංචිකරුවකු වන 28 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මියගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක චතුරංග ඇතළු නිලධාරින් පිරිසක් විසින් පරීක්‍ෂණ කටයුතු සිදු කරයි.

ඇන්ටන් ප්‍රනාන්දු

මෙන්න බලන්න තවත් පුවත්