ඊයේ (14) පෙරවරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහල් භුමියේ ගොඩගැසී ඇති සායනික අපද්‍රව්‍ය වළ දැමීමට යාමේදී විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් එම රෝහලේ පෞද්ගලික පවිත්‍රතා ඒකකයේ සේවක සේවිකාවන් 26 දෙනෙකු රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ. ඉන් 17 දෙනෙකු ඊයේ සවස් වනවිට සුව අතට හැරි තිබු අතර රෝගීවූ කාන්තාවන් 9 දෙනෙක් අද (15) පෙරවරු කාලය වනවිට ත් ප්‍රතිකාර ලබමින් සිටී.

එම රෝහලේ දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,500ක පමණ ප්‍රමාණයක් එක්වන අතර ඒවා දහනය කරනු ලබන ඉන්සියුලේටර් යන්ත්‍රය ක්‍රියාත්මක කරවීමට ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොලැබීම නිසා කලක සිට එම සායනික අපද්‍රව්‍ය මෙලෙස ගොඩ ගැසී ඇති බව එහි සේවකයෝ සදහන් කරයි. ඒ අනුව, රෝහල් පාලනාධිකාරියේ බල කිරීම මත බැකෝ යන්ත්‍රයක්  මගින් විශාල වළක් කපා පවිත්‍රතා ඒකකයේ සේවක සේවිකාවන් 113 දෙනෙකු යොදා ගනිමින් එම රෝහල් භුමියේ ගොඩ ගැසී තිබෙන සායනික අපද්‍රව්‍යවල දැමීමට කසල තෝරා වෙන් කිරීමට කටයුතු කරමින් සිටියදී කසල තුළින් හැමූ දුර්ගන්ධයක් සමග ඔවුන්ගෙන් පිරිසකට එම විෂ වායුව අග්‍රහණය වී තිබේ.

එහිදී රෝගාතුර වී සිහිසුන්ව තැන තැන ඇද වැටුණු පවිත්‍රතා සේවක සේවිකාවන් 26 දෙනා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමට රෝහල් පාලනාධිකාරිය විසින් පියවර ගනු ලැබ තිබිණි.

මේ පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහල පිටුපස පදිංචිව සිටින ජනතාවගෙන් ද දැඩි විරෝධයක් එල්ල වෙමින් පවති.

රෝහලෙන් බැහැර කරන සායනික අපද්‍රව්‍ය මුසුවූ අප ජලය අනුරාධපුර නගරයේ පිහිටි පොන්නාරම්කුලම වැවට මුසු වී අනතුරුව ඇළ මාර්ගයක් ඔස්සේ මල්වතු ඔයට ගලා බසී. අනතුරුව එම ජලය අනුරාධපුර පුජා නගරය හරහා මල්වතුඔය ඔස්සේ තන්තිරිමලේටත් ඉන්පසු මන්නාරම යෝධ වැවට ත් පසුව මුරුක්කන් හරහා මහ මුහුදට ත් එකතු වේ. මේ පිළිබඳව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර කියා සිටියේ, රෝහල් භුමියේ ගොඩ ගැසී තිබූ දිරාපත්ව ඇති කසළ තෝරා වෙන් කර වළ දැමීමට උත්සහ කිරීමේදී ඇමෝනියා වායුව ආග්‍රහණය වීම නිසා ඇතිවූ ආසාත්මිකතාව නිසා රෝගාතුර වූ සියලු දෙනා ම මේ වන විට සුවය ලබා ඇති බව ය.

එම කසළ රෝහල් භුමියේ වළ දැමීමට කිසිවෙකුගේ කිසිවෙකුගේ අවසරයක් ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ත් ඔහු සදහන් කරයි. අනුරාධපුර ශික්ෂණ රෝහල භුමියේ අවිධිමත් ලෙස ගොඩ ගසා තිබෙන සායනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකිරීමට එරෙහිව රෝහල් පාලනාධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ පවසයි.

source –  මව්බිම

මෙන්න බලන්න තවත් පුවත්