මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විදුලිබල මණ්ඩලය ඇතුළු බලධාරීන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කර ඇති බවයි.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වන අතර විභාගය පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 2,200 කදී විභාගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ කටයුතු අතරතුර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙන්න බලන්න තවත් පුවත්