ඊයේ (13) අලුයම අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක, හිටපු බස්නාහිර පළාත් මහඇමති රෙජිනෝල්ඩ් කුරේගේ අභාවයට හේතු වූ හදිසි හෘදයාබාධය ඇති වීමට හේතු වන්නට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඇතුළු සිවු දෙනෙක් සමග ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් බව හිටපු මහඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ජේ. සෝමසිරි හිරු නිවුස් අප වෙත පැවසුවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, නිදහස ජනතා සංධානයේ නියෝජිතයන් අතර පසුගිය 12 වැනිදා රාත්‍රී 8ට පමණ පානදුර ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති සාකච්ඡාවක් අතරතුර දී හිටපු මහ ඇමතිවරයාට හෘදයාබාධය වැලඳුණු අතර ඊයේ අලුයම 2.30ට පමණ ඔහු කළුතර නාගොඩ රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා.

කෙසේ නමුත් හිටපු මහ ඇමතිවරයාගේ මරණ සම්බන්ධයෙන් පැවැත් වූ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි වශයෙන්, මහ ඇමතිවරයාට හෘදයාබාධය ඇති වීමට පෙර සිදු වූවා යැයි කියන වචන හුවමාරුව සම්බන්ධයෙන් ද තොරතුරු ලබා දීමට පුද්ගලික ලේකම්වරයා කටයුතු කර තිබෙනවා.

එහි දී ඔහු පවසා ඇත්තේ, පසුගිය දා රාත්‍රියේ පැවති නිදහස ජනතා සංධානයේ සාකච්ඡාවට එහි නියෝජිතයෙක් සහභාගි නොවීම පිළිබඳව හිටපු මහ ඇමතිවරයා කළ විමසීමක දී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා විසින් හිටපු මහ ඇමතිවරයාට බැණ වැදී ඇති බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් ජේ. සෝමසිරිගෙන් හිරු නිවුස් අප කළ විමසීමේ දී ඔහු පැවසුවේ,
“ආණ්ඩුකාරතුමා ඇහුවා ලලිත් එල්ලාවල සාකච්ඡාවට ආවෙ නැත්තෙ ඇයි කියලා? එතකොට ගෙවිඳු මන්ත්‍රීතුමා කිව්වා අපේ පක්ෂෙ නියෝජිතයන්ගෙ සහභාගිත්වය පිළිබඳ ප්‍රශ්න කරන්න ඔයාට තියන අයිතිය මොකක්ද කියලා. එතකොට ඒකට උත්තරක් විදිහට ආණ්ඩුකාරතුමා කිව්වා සංයුතිය ගැන හැදෑරීමක් නැතුව කොහොම ද සාකච්ඡාව ඵලදායි වෙන්නෙ? කියලා. ඒකට උත්තර දීපු ගෙවිඳු මන්ත්‍රීතුමා කිව්වා ඔයා ශ්‍රී ලංකා එකෙන් ආවනම් අපේ පක්ෂෙ ගැන කතා කරන්න එපා කියලා උස් හඬින් කිව්වා. ඒත් එක්කම රෝගී තත්ත්වයෙන් හිටපු ආණ්ඩුකාරතුමා අමාරුයි කියලා පපුව අල්ලා ගත්තා. ඊට පස්සෙ කලන්තෙ හැදුණා. ඒත් එක්ක ම ආණ්ඩුකාරතුමාව පානදුර හොස්පිට්ල් එකට ගෙනිච්චා. එතනින් බරපතලයි කියලා කළුතරට යැව්වා. පාන්දර 2.30 විතර තමයි නැති වුණේ.” යනුවෙන්.

අභාවප්‍රාප්ත වූ ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු එළඹෙන 18 වැනි දා පැවැත්වීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්