
පෙරේදා (12) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පස් දෙනකු වරදකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් කර තිබූ වින්දිත අරමුදල පිහිටුවීමට පියවර ගන්නා ලෙස නීතිපති සංජය රාජරත්න මහතා හානි පූරණය සඳහා වන කාර්යාලයේ ප්‍රධානි ධාරා විජේතිලක මහත්මියට ඊයේ (13) ලිඛිතව දැනුම් දුනි.
වින්දිතයන්ගේ පවුල්වලට සාධාරණව සහ සමානව වන්දි ගෙවීම සඳහා නඩුවේ වගඋත්තරකරුවන්ට ගෙවීමට නියම කළ වන්දි මුදල් බැර කිරීම සඳහා වින්දිත අරමුදලක් පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් නියම කර ඇති බවත්, වගඋත්තරකරුවන් සිය පෞද්ගලික මුදලින් ඒ වන්දි මුදල් එම අරමුදලට බැර කළ යුතු බවත් නීතිපතිවරයා එම ලිපියේ සඳහන් කර තිබේ. වගඋත්තරකරුවන් විසින් එම වන්දි මුදල් ගෙවීමේ විස්තර සම්බන්ධ වාර්තාවක් මාස හයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත්, වින්දිතයන්ට වන්දි ගෙවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අනුව වින්දිතයන්ට වන්දි නොගෙවීම හෝ අඩුවෙන් ගෙවීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන චෝදනා ගැනද විමර්ශනය කළ යුතු බවත් එම ලිපියේ සඳහන්ය.
ඒ සම්බන්ධ නිවැරදි තොරතුරු මෝසමක් මඟින් මාස තුනක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා එම ලිපියේ සඳහන් කර තිබේ. මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කරන ලෙස නීතිපතිවරයාට අධිකරණ තීන්දුවෙන් නියම කර ඇතැයිද සඳහන් කර තිබේ.
එම ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන් පිරිසක් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කර මෙලෙස වන්දි මුදල් ගෙවන ලෙස නියම කරනු ලැබීය.
source – dinamina