බොරලැස්ගමුව පොලිස් වසමේ කටුවාවල, ඇහැලපේ මාර්ගයේ දෙනියවත්ත පටුමග ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ කාමරයක (12 දා) දින රාත්‍රියේ දී හදිසියේ ඇතිවූ ගින්නකින් වයෝවෘද්ධ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ (87) වැනි වියේ පසුවූ ජයවතී ද කොස්තා නමැති වයෝවෘද්ධ කාන්තාවක් බවත් රාත්‍රී කාලයේ විදුලිය කප්පාදු කර තිබූ වේලාවේදී මෙම කාන්තාව නිවසේ තනිව සිට ඇති බවත් හෙළිවී තිබේ. වයෝවෘද්ධ කාන්තාව දීර්ඝකාලීනව අසනීප තත්ත්වයකින් පෙළුණු බැවින් ඇවිදීමට නොහැකිව ඇඳ මත සිටි අයෙක් බවත් මූලික පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය පවසයි.

නිවසේ තම වැඩිමහල් පුත්‍රයා සමග ජීවත්ව ඇති මෙම කාන්තාව විදුලිය නොමැති අවස්ථාවේ නිවස තුළ සිටියදී පුත්‍රයා ඇයගේ බෙහෙත් අවසන්ව තිබූ බැවින් ඒවා රැගෙන ඒමට ඖෂධ හලකට ගොස් තිබේ. එම අවස්ථාවේදී නිවසේ පහත මාලයේ කාමරය කිසියම් හේතුවකින් ගිනිගෙන ඇති බවත් ප්‍රදේශවාසීන් විසින් පොලිසිය හා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් හා ගිනි නිවීමේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමූ බවත් ප්‍රදේශවාසීහු පවසති.

දෙහිවල – ගල්කිස්ස නගර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ අංශ ප්‍රධානී සුනන්ද පෙරේරා මහතා සහ නිලධාරීන් එක්ව පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බවත් පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර ගින්නෙන් නිවසේ පහත මාලයේ කාමරයට හා තිබූ භාණ්ඩවලට දැඩි අලාභානි සිදුව ඇත. නුගේගොඩ කොට්ඨාස පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා ඇඟිලි සලකුණු ඒකකයේ නිලධාරීන් සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ ආරම්භ කර තිබිණි. මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලසිරි මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක මධුසංඛ පොලිස් කොස්තාපල් (68832), අමරසිංහ (44962) රූපසිංහ යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

එස්. ඩී. අබේසිංහ – මහරගම, ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

මෙන්න බලන්න තවත් පුවත්