පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (12) තීරණය කළා.

ඒ අනුව වින්දිතයින්ට වන්දි ගෙවන ලෙසයි විත්තිකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවයි.

මීට අමතරව රජයේ විසින් රුපියල් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වන අතර එම විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙසයි.

2019 වසරේ අප්‍රෙල් මස 21 වැනි දින පෙරවරුවේ කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු වූ මෙම මරාගෙනමැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12කට අදාලවයි මෙම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට කටයුතු කළේ, බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් විසින්.

මෙන්න බලන්න තවත් පුවත්