වැඩි ආරක්ෂාව පතා මිත්තණියගේ නි‍ෙවසේ නතර කර සිටිය දී මිත්තණිය තද නින්දට වැටුණු අවස්ථාවේ දී පෙම්වතා සමඟ පැන ගොස් ඇතැයි කියන තරුණියක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ දුෂ්කරතා ඇති ගමකින් වාර්තා වෙයි.

කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ නි‍ෙවසක මවුපියන් සමඟ 21 හැවිරිදි තරුණියක් පදිංචිව සිටියි. මෙම තරුණියට වැඩිමහල් සහෝදරයෙක් ද සිටියි. ඔහු බස්නාහිර පළාතේ විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉ‍ෙගනුම ලබයි. පියා ආරක්ෂක අංශයේ රැකියාවක් කරන අතර උතුරු පළාතේ සේවය කරයි. මව තරුණිය සමඟ නි‍ෙවසේ පදිංචිව සිටියි. මාස දෙකකට පමණ වතාවක් නි‍ෙවසට පැමිණෙන තරුණියගේ පියා තම එකම රුවැති දියණිය කාලයක සිට හඳුනන තමන් සමඟ සේවය කරන හිතවතෙකුගේ විදේශ රටක ස්ථීර පදිංචිව සිටින තරුණයෙකුට විවාහ කර දීමට බලාපොරොත්තුවෙන් සිට තිබුණි. දෙපාර්ශ්වයේම මවුපියෝ පසුව දරුවන් දෙදෙනාගේ හඳහන් පත් ජ්‍යෝතීර්වේදියෙකු වෙත කලකට ඉහතදී ලබා දී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාගේ වේලාවල් ද ඉතා ඉහළින් ගැලපී තිබේ.

තරුණිය මාස ගණනාවක සිට සිය මවට හොර රහසේ අල්ලපු ගමේ පදිංචිව සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින තරුණයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන බව දිනක් අසල්වැසි කාන්තාවක් දැක තරුණියගේ මවට ප්‍රකාශ කර ඇත. පසුව තරුණියගේ මව සිය සැමියාට ද සිද්ධිය සම්බන්ධයෙන් දන්වා දියණිය ආරක්ෂා කර ගත යුතුව ඇතැයි පවසා කෑගල්ලේ තනිවම පදිංචිව සිටින තම මවගේ නි‍ෙවසේ මීට මාස හතරකට පමණ ඉහතදී තරුණිය නතර කර ඇත. දින කිහිපයක් තරුණිය මිත්තණියගේ නි‍ෙවසේ කාමරයක කල් ගෙවමින් සිටින අවස්ථාවේ දී මිනිබිරිය තරුණයා සමඟ දුරකතනයෙන් නිතර නිතර දොඩමළු වෙන අයුරු මිත්තණිය සියැසින් දැක තිබුණී. මිනිබිරිය තරුණයා සමඟ පැන යයි දෝ කියන සැකය මත සති දෙකක පමණ සිට මිත්තනිය නිදා ගන්නා ඇඳේ කොටසක ඇයට ද රාත්‍රී නිදා ගැනීමට සලස්වා දී ඇත.

ඉකුත් දිනක මිත්තණිය හා තරුණිය ඇඳේ නින්දට වැටුණු පසු මිත්තණිය ගොරවා ගොරවා තද නින්දට වැටුණු අවස්ථාවේ දී තරුණිය මිත්තණියගේ ඇඟ උඩින් පැන දොර ඇර නි‍ෙවසින් පිට වී තරුණයා සමඟ පැන ගොස් තිබුණි.

ගොරවා ගොරවා නින්දේ සිටි මිත්තණිය උදෑසන අවදි වීමෙන් පසුව මිනිබිරිය ඇඳේ සිටිනවා දැයි කළුවරේම අතපත ගා සොයා බැලීමක් සිදු කර ඇත. මිනිබිරිය ඇඳේ නොමැති බව දැන ගත් මිත්තණිය හනික නැගිට පාන්දරම රඹුක්කන පදිංචිව සිටින දියණියට කතා කොට මිනිබිරිය නි‍ෙවසේ නොමැති බව පවසා ඇත.

පසුව තරුණිය එළිය වැටෙමින් පවතින අවස්ථාවේදී මවගේ දුරකතනයට ඇමතුමක් ගෙන කියා ඇත්තේ කිරි අම්මාට නොදන්වා තමන් පෙම්වතා සමඟ ගිය බවත් සොයන්න එපා කරදරයක් නැතිව සිටින බවත්ය.

දිනමිණ

මෙන්න බලන්න තවත් පුවත්