සබරගමුව මහ සමන් දේවාලයට අයත් පඬුරු ගබඩාවට ඉකුත් 8 වන දා මැදියම් රැයේ වහලය, සිවිලිම හා යකඩ දැල් ආවරණය කඩා ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් දේවාලයට අයත් පඬුරු පෙට්ටි හතරකින් එකතු කර ගෝණිවල එක් රැස් කර තිබූ රුපියල් ලක්ෂ ගාණක මුදල් නෝට්ටු පැහැරගෙන ගොස් ඇත.

මෙම පඬුරු ගබඩාව බස්නායක නිලමේවරයාට අයත් නිල නිවසේ කොටසක ඉදිකර ඇති අතර නිල නිවස ඉදිරිපිට පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පොලිස් මුරපොළක් ද තිබේ.

පොලිස් නිලධාරීන්ට අමතරව දේවාලයේ ආරක්ෂාවට මුරකරුවන් යොදා දේවාල පරිශ්‍රයේ සී.සී.ටී.වී. කැමරා 60ක් පැය විසිහතර පුරා ක්‍රියාත්මකව තිබියදී සිදුව ඇති මෙම හොරකම පිළිබඳව ප්‍රදේශවාසීන්ට විශාල සැකයක් ඇතිව තිබේ.

මෙම හොරකම සිදුවන අවස්ථාවේ පොලිස් මුරපොළේ රාජකාරි කරමින් සිටි සියලු පොලිස් නිලධාරීන් වහා ම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථානවලට අනුයුක්ත කර මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් රත්නපුර පොලිසිය රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සේනක වීරසිංහගේ උපදෙස් මත ආරම්භ කර ඇති අතර මේ වන විට එම පොලිස් මුරපොළේ රාජකාරි සඳහා වෙනත් නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට ද පොලිස් අධිකාරිවරයා පියවර ගෙන ඇත.

මෙම හොරකම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර බණ්ඩාර;

පසුගිය ඔක්තෝබර් මස 4 වන දින හා 10 වැනි දින දෙකේදී මෙම මුදල් ගබඩාවට ඇතුළු වීමට මෙම හොරු කණ්ඩායම කටයුතු කර තිබුණත් එම අවස්ථා දෙකේදී ම මෙම හොරකම වැළකී ගිය බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය දැනුවත් කර විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටියත් මේ දක්වා ඉල්ලූ ආරක්ෂාව නොලැබුණු බවට ද ඔහු චෝදනා කළේ ය.

මෙන්න බලන්න තවත් පුවත්