ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට මේ වනවිට බලපා ඇති දරුණු මෙගා කුණාටු මාලාව හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ මේගන් කුමරිය රැඳී සිටින කැලිෆෝනියාහි මොන්ටෙසිටෝ නිවසින් “වහාම ඉවත් වන ලෙස” දන්වා තිබෙනවා.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය රාජකීය රාජකාරිවලින් ඉවත් වීමෙන් පසු 2020 සිට නිස්කලංක කැලිෆෝනියා මුහුදු වෙරළේ පිහිටි ඔවුන්ගේ ඩොලර් මිලියන 14 ක නිවසෙහි ජීවත් වනවා.

කෙසේ වෙතත් මෙම ඉවත්වීමේ නියෝගය නිකුත් කරන අවස්ථාවේ හැරී කුමරු මෙම නිවසේ සිටියේ නැහැ.

ඊට හේතු වන්නේ හැරී කුමරු, ඔහුගේ රාජකීය දිවියේ තොරතුරු ඇතුළත් චරිතාපදානය නිකුත් කිරීමේ කටයුතු සහ ඒ සඳහා වන රූපවාහිනී සාකච්ඡා වෙනුවෙන් නිව් යෝර්ක් නගරය වෙත පිටත්ව ගොස් තිබීමයි.

කෙසේ වෙතත් මේගන් කුමරිය සහ දරුවන් දෙදෙනා මෙම නිවසින් ඉවත් වී තිබේද යන්න පැහැදිලි නැහැ.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරියගේ ප්‍රකාශකයින් ඔවුන්ට ඉවත්ව යාමට බල කර තිබේද යන්න පිළිබඳව ද මෙතෙක් කිසිදු අදහස් දැක්වීමක් කර නැහැ.

පදිංචිකරුවන් 9,000ක් පමණ සිටින මොන්ටෙසිටෝ නගරය ඔපරා වින්ෆ්‍රේ (Oprah Winfrey), ජෙනිෆර් ඇනිස්ටන් (Jennifer Aniston), කැතී පෙරී (Katy Perry), සහ ලැරී ඩේවිඩ් (Larry David) වැනි ඇමරිකානු සමරන්නන්ගේ සහ රාජකීයන්ගේ ප්‍රියතම වාසස්ථානයයි.

මෙම ප්‍රදේශයට පසුගිය දින කිහිපය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දාහතර දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීන් පවසනවා.

පසුගිය පැය 24 තුළ පමනක් අඟල් 14ක් දක්වා වර්ෂාපතනයක් ප්‍රදේශයට ලැබී ඇති අතර එය වසර 5 කින් පසු එම ප්‍රදේශයේ වාර්තා වූ වැඩිම වර්ෂාව වර්ෂාපතනයයි.

“පසුගිය දින 30 තුළ, මොන්ටෙසිටෝ පිහිටා ඇති සැන්ටා බාබරා ප්‍රදේශයට අඟල් 12-20 අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එය අපගේ වාර්ෂික සාමාන්‍යය වන අඟල් 17 ඉක්මවයි,” ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මොන්ටේසිටෝ හි ගිනි නිවීම් සේවා ප්‍රධානියා පවසා තිබුණා.

ඊයේ දිනයේ දී සිය මව සමග ගමන් ගත් 5 හැවිරිදි පිරිමි දරුවෙක් මවගේ ට්‍රක් රථය ගංවතුරේ සිරවීමෙන් පසු ගසාගෙන ගොස් ඇති අතර ඔහු සෙවීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් මේ වන විට මෙම කුණාටු රැල්ල හේතුවෙන් මියගිය සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර ඇත්තේ මෙම දරුවාගේ තොරතුරු ඇතුලත් කිරීමෙන් තොරවයි.

බලධාරීන් තවමත් මෙම දරුවා මියගිය බවට තහවුරු කර නැහැ.

බලධාරීන් පවසන්නේ පිරිමි ළමයාගේ මව සඳුදා උදෑසන සුදු පැහැති ට්‍රක් රථයක් පදවාගෙන යද්දී එය පැසෝ රොබල්ස් අසල දී ගංවතුරේ අතරමං වී ඇති බවයි.

මේ අතර, සැන්ටා බාබරා ප්‍රදේශයේ පදිංචිකරුවන් දස දහසකට පමණ ඉවත් වන ලෙස මේ වන විටත් බලධාරීන් නියෝග ක‍ර තිබෙනවා.

ලොස් ඇන්ජලීස් නගරයේ සිට මිනිත්තු 90 ක් දුරින් පිහිටි මෙම ප්‍රදේශයේ, අධික වර්ෂාවෙන් නගරයට මඩ ධාරා ගලා ගොස් පුද්ගලයන් 23 දෙනෙකුට මරු කැඳවූයේ මීට වසර පහකට පෙරයි.

කැලිෆෝනියා ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් නිවේදනය කළේ කුණාටු මාලාවකින් හානිය දිගටම පවතින බැවින් නිවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉවත්වීමේ නියෝග නිකුත් කර ඇති බවයි.

මේ අතර, ප්‍රාන්තයේ විදුලිය නොමැති පුද්ගලයින් සංඛ්‍යාව සඳුදා සවස වන විට 92,000 දක්වා අඩු වී ඇති අතර, පෙර දිනයේදී විදුලිය නොමැති පුද්ගලයින් සංඛ්‍යාව 137,000 ලෙස දැක්වුනා.

පැයට සැතපුම් 60 ක් දක්වා ඉහළ නගි සුළඟේ වේගය හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බොහෝමයක් කඩා වැටී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්