ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගොස් තිබිය දී සොයා ගත් පුවතක් තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුව එම බිලිඳිය ව ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත භාරදුන් බව තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

තලවකැලේ, හින්දු කෝවිල අසල ගාල් කර තිබු  අදාළ  ත්‍රිරෝද රථය දිනපතා කෝවිල අසල ගාල් කර තැබෙන බවත්, නගරයේ පිරිසිදු කිරීමට පැමිණි තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයින් විසින් ත්‍රිරෝද රථය තුළ කුඩා දරුවෙකු හඬන ශබ්දය ඇසි ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ බිලිදියක් සිටින බවට දැක පොලීසිය දැනුවත් කර ඇති බවත් සදහන් වේ.

බිලිඳිය දින 12 – 14ක පමණ වයසැති බව වාර්තා වෙයි. බිලිඳිය ත්‍රිරෝද රථය තුළ දමා ගිය අය පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ තලවකැලේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බිලිඳිය වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්