වට්ස්ඇප් සමූහයක් ඔස්සේ වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘ගෙත්තු පසංග’ (geththu pasanga) නමින්  තියුණු ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයන් හය දෙනෙකු තියුණු ආයුධ හා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සදහන් කරයි.

එම සැකකරුවන් සමග සමග කඩු දෙකක්, දැති රෝදයක ආකාරයෙන් සකස් කළ තියුණු ආයුධයක් හා මත් පෙති පොලිස් භාරයට ගෙන ඇත. විශේෂ කාර්ය බළකා වවුනියාව කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව වවුනියාව පුවරසන්කුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත් පෙති සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී විවිධ ප්‍රමාණයන්හි කඩු කිහිපයක ඡායාරූප දැක ගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනයකදී සෙසු සැකකරුවන් තියුණු ආයුධ සහ ජංගම දුරකතන හතරක් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.

එම සැකකරුවන් පසුගිය කාලයේදී පුවරසන්කුලම, තට්ටම්කුලම්, සහ සෙට්ටිකුලම යන ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් ක්‍රියාත්මක වන ගෙත්තු පසන්ග යන කණ්ඩායමේ සාමජිකයන් බවට තොරතුරු වාර්තා වූ බවත් සැකකරුවන් සියලු ම දෙනා 18 හැවිරිදි වියේ පසුවන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් පුවරසන්කුලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවත් පොලිසිය පවසයි.

‘ගෙත්තු පසංග’ නැමති ජාලය මගින් සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ කාර්ය බළකාය මගින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත යි.

පොලිස් විශේෂ කාර්යය බළකා අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ මග පෙන්වීම යටතේ විශේෂ කාර්ය බළකා වවුනියාව කඳවුරේ අණදෙන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්