කලාඳුරු (Cyperus rotundus L.)

Cyperaceae කුලයට අයත් මෙම ශාකය අඟල් 4-6 අතර උසට වර්ධනය වන අතර රේඛීය පටු පත්‍ර සහිතය. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ වැලි හෝ මඩ සහිත බුරුල් පස් හා දිය සීරාව බැස යන තැන්වල වැඩෙන සුවඳවත් කුඩා අල සහිත තෘණ විශේෂයකි. බහුවාර්ශික ශාකයක් වන මෙහි මොටෙයියන්ගෙන් හටගත් සුගන්ධවත් ආකන්ද පවතී. කළු, දුඹුරු පාටකි. කලාඳුරු අලයේ පිට පොත්ත ඉවත් කළ පසු හොඳ සුවඳකින් යුක්තයි.

රටවල් රාශියක් පුරා පැතිර පවතින මෙම ශාක විශේෂය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මුස්තක ලෙස හඳුන්වයි. ආයුර්වේද ඖෂධ ග්‍රන්ථයන්හි භද්‍රමුස්තක (මහ කලාඳුරු) නාගරමුස්තා සහ කෛවර්තමුස්තා (ජල කලාඳුරු) ලෙස කලාඳුරු වර්ග තුනක් සඳහන් වන අතර ඒවා අතුරෙන් භද්‍රමුස්තක ප්‍රධාන වශයෙන් ඖෂධ ලෙස භාවිතා කරයි.කලාඳුරු අල, පත් පාඩගම්, සැවැන්දරා, රත් හඳුන්, ඉරිවේරිය, වියළි ඉඟුරු මේවා සමව ගෙන තම්බා ගත් ජලය සිසිල් වූ පසු වරින් වර පානය කිරීමෙන් උණ සමනය කර ගත හැකිය.

2015 හි ප්‍රකාශිත Cyperus rotundus L.: Traditional uses, phytochemistry, and pharmacological activities, 2016 හි A review on Cyperus rotundus; A potential medicinal plant හා 2013 හි Medicinal uses and Pharmacological activities of Cyperus rotundus Linn – A Review යන වාර්තා අනුව මෙම ශාකය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළ අජීර්ණ, දියවැඩියාව, ජ්වර, ගර්භාෂරෝග, පිපාස, අපස්මාර, ප්‍රදාහ, මැලේරියාව, ඇතරොස්ක්ලෙරෝසිස්, මූත්‍ර ආසාදන, අන්ත්‍රගත පරපෝෂී මර්දන, ප්‍රොස්ටේට් ආසාදන, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇත. එසේම සෛල මියයෑම, අනවශ්‍ය රෝම වර්ධනය, සෛල සතු ජානමය තොරතුරු විනාශ වීම, වයසට යාම වැනි තත්වයන් පාලනය කිරීමට මෙම ශාකය යොදා ගෙන ඇත. තුවාල සුව කරයි. විෂ නාශකයි. රක්තශෝධකයි. මව් කිරි වඩවයි.

මෙම ශාකය සතු බැක්ටීරියානාශක, ඇන්ඩ්‍රොජන් යාමක, පිළිකා මර්දන, දියවැඩියා මර්දන, අජීර්ණහර, ප්‍රතිප්‍රදාහාත්මක, අධිලිපිඩ යාමන, ස්ථූලහර, ප්‍රතිඔක්සිකාරක, අක්මා ආරක්ෂක, හෘද් හා ස්නායු ආරක්ෂක හැකියාවන් පර්‍යේෂණාත්මකව ඔප්පු කර ඇත.

කලාඳුරු යුෂ වලින් සකස් කර ගන්නා තෙල් ඉතා සුගන්ධවත් බැවින් ඇරෝමාතෙරපි සඳහා එය භාවිතා කරන අතර එය මානසික ආතතිය අඩු කිරීමට මෙන්ම රූපලාවණ්‍ය කටයුතු සඳහා ද යොදා ගැනේ. 2021 වසරෙහි ප්‍රකාශිත The effectiveness of Cyperus rotundus essential oil in reducing the side effects of laser hair removal අනුව ලේසර් ප්‍රතිකාර වල අතුරු ආබාධයන් ලෙස ඇති වන වේදනාව හා රතුපැහැ වීම් සඳහා මෙම ශාක තෙල් භාවිතා කළ හැකිය. එසේම 2022 හි කරන ලද Topical Cyperus rotundus essential oil for treatment of axillary hyperpigmentation: a randomized, double-blind, active- and placebo-controlled study පර්යේෂණයට අනුව සිරුරෙහි ඇති අඳුරු පැහැති ලප ඉවත් කිරීමේ හැකියාව ද මෙම ශාක තෙල්වලට ඇති බව ඔප්පු කර ඇත.

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
සැකසුම – බිනාලි රාජපක්ෂ

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්