අගනුවර සිට පාලින්දනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයකි. අගනුවර ආයතනයක රැකියාවේ නියුතු මැදිවියේ පුද්ගලයකු එදින සැන්දෑවේ මේ බස් රථයට ගොඩවන්නේ ඉක්මනින් ගෙදර යන්නටය. බස් රථයට ගොඩවූ මගියා හරි මැදට වන්නට ආසනයක ඉඳගෙන කොන්දොස්තරවරයාට තම අත තිබූ එකම පන්දහසේ කොළය ලබාදී ගමනාන්තය කීය.

කිසිවක් නොකී කොන්දොස්තර පන්දහස රැගෙන බස් රථයේ පසුපසට ගමන් කළේය. කෙමෙන්, කෙමෙන්, බස්රථය මගීන්ගෙන් පිරී ඉතිරිණි. කොන්දොස්තර තැන කෑගසමින් බස්රථයේ සෙනග අතරින් රිංගා දෙකොන මාරු වුණත් මගියාගේ පන්දහසේ ඉතිරි සල්ලි ගැන කතාවක් නැත. තද නිදිමතක් ආවත් පන්දහස මතක් වෙද්දී මගියාට නින්ද නොයයි.

නැවතත් කොන්දොස්තර කෑගසමින් එන අයුරු බලා වහා හිටගත් මගියා ‘මේ.. මම පන්දාහක් දුන්නේ’, හඬනගා කීය. එහෙත් ඔහු ශබ්දයක් නැත. මේ දැන් නැග්ග කට්ටිය සල්ලි ගන්න කියා කොන්දොස්තර තැන බස් රථයේ පසුපසට ගියේය. මගියාට යකා නැග්ගේය. මගියා සෙනග අතරින් නැවත ඉදිරියට එන කොන්දොස්තරගේ අත වැරෙන් අල්ලා ගත්තේය. ‘මේ.. මම පන්දහක් දුන්නේ කෝ ඉතිරි සල්ලි?’

හරි, හරි දෙන්නම් මහත්තයා, ඔයා දැන් මෙතන බහිනවාද, නැහැනේ, කොන්දොස්තර තැන මගියා බහින ස්ථානයද කීය.

මගියා නිහඬව ඉඳගත්තේය. බස් රථය දැන් බෝහෝ දුර ගමන් කර ඇත. මගීන්ද බෝහෝ පිරිසක් බැස ගොස් හමාරය. නැවතත් මගියා පන්දහස ගැන විමසීය.

‘හරි දෙන්නම් මහත්තයා පුදුම කරදරයක්නේ තියෙන්නේ’. කොන්දොස්තර කෙඳිරි ගෑවේය. දැන් ගමනාන්තයටද ඉතාම කිට්ටුය. මගියා ද ඉදිරියේ ඇති නැවතුමේ බැසිය යුතුය. මගියා නැවතත් පන්දහස ගැන විමසීය.

‘ආ.. මෙන්න මහත්තයා ඉතිරි සල්ලි’ කියා කොන්දොස්තර තැන මුදල් මිටියක් මගියා අත තැබීය. එහි ඇත්තේ රුපියල් විස්සේ කොළ මිටියක්ය. මගියා සිටින තැනද අඳුරුය. මුදල් ගැන බැලීම ඉතාම අසීරුය.

‘කෝ මෙතන අඩුම තරමේ සීයේ කොළයක්වත් නැහැ’. මගියා කෑගැසීය. ‘මොනවා කරන්නද මහත්තයා මටත් ලැබුණේ ඕවා තමයි. වෙන කරන්න දෙයක් නැහැ’. කියා මගියා බස්සවා බස් රථය ගමනාන්තයට ගියේය.

මගියා එතැන සිට විස්සේ කොළ ගැන ගැන කළුවරේම කිලෝ මීටරයක් දුර පිහිටි නිවෙසට ගොස් ඇතත් අදටත් ඔහුට විස්සේ කොළ නම් නයාට අඳුකොළ වැනි ලු.

මෙන්න බලන්න තවත් පුවත්