මෙරට ලක්ෂ 43ක් වන දූදරුවන් කැට හොල්ලන පිරිසක් බවට පත් කිරීමට වී.අයි.පී. සමාජවාදීන් පිරිසක් පිඹුරුපත් සකසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වල වැඩසටහන යටතේ හෝමාගම මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ,

අපේ රටේ ලක්ෂ 43 දූදරුවන් කැට හොල්ලන දරු පිරිසක් බවට පත් කරන්නට පිඹුරුපත් සකසන වී.අයි.පී. සමාජවාදීන් පිරිසක් රැස්වීමක් කැඳවමින් සජිත් ප්‍රේමදාස බස් රථ දුන්නත් අපි එයා පරාජය කරනවා යැයි පවසන බවයි. බස් රථ දෙන්නේ ඡන්ද දිනා ගැනීම සඳහා නොවන බව පෙන්වා දෙන ඒ මහතා බස් රථ දෙන්නේ, රෝහල්වලට සහාය දෙන්නේ, සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සමාජ යුතුකම ඉටුකිරීමට බව පෙන්වා දුන්නේය. නායකයන් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති දෙස රටේ ජනතාව බලා සිටින බව කී විපක්ෂ නායකවරයා කෙසේද මේ රට ගොඩ ගන්නේ කියා විමසිල්ලෙන් සිටින බවද උතුරු කොරියාව සහ කියුබාව සමඟ සබඳතා පැවතියද මේ රට ගොඩගන්න ඔවුන් මුදල් දෙනු ඇතැයි විශ්වාස කළ හැකිදැයි ප්‍රශ්න කළේය. යළි රැවටෙන්න එපා යැයි ඉල්ලීමක් කළ ඒ මහතා මේ රටේ කුහක දේශපාලනයට නැවතීමේ ලකුණ තැබිය යුතු බවද බොරුව පසෙකලා සජිත් ප්‍රේමදාස සමඟ කරට කර සංවර්ධනය කිරීමට පැමිණෙන්නැයි වී.අයි.පී. සමාජවාදීන්ට පවසන බවද සඳහන් කළේය. බොරුවට මහා වියදමක් කොට පක්ෂ කාර්යාල ඉදි කිරීමට හැකියාව තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ ලබාදුන් 60 වැනි බස් රථය හෝමාගම මහා විද්‍යාලයට භාරදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සිදුකෙරුණි.

source – දිනමිණ

 

මෙන්න බලන්න තවත් පුවත්