ප්‍රවේශ පත්‍රයක් නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා යාමට උත්සාහ කළ නාවලපිටිය සහකාර ප්‍රවාහන අධිකාරිවරයෙකු දුම්රිය නියාමකවරයෙකු සමග ගැටුමක් ඇති කර ගැනීම හේතුවෙන් දුම්රියක් ප්‍රමාද වීමේ සිද්ධියක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

කොළඹ කොටුවේ සිට මහනුවර බලා පස්වරු 3.35 ට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය එම ගැටුම හේතුවෙන් විනාඩි 30 ක් ප්‍රමාද වී ගමන් ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය හෙට සිට අනුරාධපුරය දක්වා සීමා කර තිබෙනවා.

අනුරාධපුරය සහ කන්කසන්තුරය අතර, මෙලෙස දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන්නේ මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්.

ඉන්දියානු ණය ආධාර ක්‍රම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 91 ක් දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා යොදවා තිබෙනවා.

මේ අතර, අධිවේගි මාර්ගවල මඟීන්ගෙන් අය කරන ගමන් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ගාලු පාරේ කොළඹ – කතරගම අර්ධ සුඛෝපභෝගි බස් සේවාව ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක නොවන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්