ගුවන් මගීන්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්‍රන් කිලෝග්‍රෑම් 50ක් පමණ ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්වරියගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එහිදී ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව ආසන්න රටවල් වෙත ගුවන් ගමන් හරහා කැරට් 24 රන් පළඳනා සකස් කරගෙන පැමිණෙන බවත්  එමගින් මාසයකට අමෙරිකානු ඩොලර් 30ක පමණ විදේශ විනිමයක් රටට අහිමි වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  මේ සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිදුකළ නියෝගයකට අනුව අදාළ වාර්තාව අමාත්‍යවරයාට භාරදී තිබේ.

අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ එලෙස ජාවාරම් කිරීමේ අරමුණින් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ මෙරටට ගුවන් මගීන් ලෙස පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බවය.

ඒ අනුව රන් භාණ්ඩවල තත්ත්වයන් හා ප්‍රමාණයන් පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

විදෙස්ගතව පැමිණෙන ශ්‍රමිකයින්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට අදාළ තීරණයෙන් කිසිඳු පීඩාවක් ඇති නොවන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ ක‍රයි.

මෙන්න බලන්න තවත් පුවත්