රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් මෙරට තුළ කිරිපිටි හිඟයක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණයක් සිදුකරමින් සිටින බව කිරිපිටි ආනයනකරුවන් චෝදනා කරයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරීය මහතා සදහන් කළේ පසුගිය ජූලි මාසයේදී ආනයනය කරන ලද කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් වරායේ සිරවී තිබෙන බවයි.

එම කිරිපිටි සත්ත්ව ආහාර බවට පත් කිරීමේ සූදානමක් පවතින බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ කිරිපිටි අව් රශ්මිය නොමැති ස්ථානයක ගබඩා කළ යුතුව තිබුණද රේගු නිලධාරීන් කියා සිටියේ එවැනි පහසුකම් ඔවුනට නොමැති බවයි”

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු,

“කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් වරායේ සිරවෙලා. දරුවන් ලක්ෂ 16කට ලබාදෙන කිරි. ජූලි මාසයේ සිට වරායේ සිරවෙලා දැන් නරක්වෙලා. දැන් කිරිපිටි කුකුල් කෑම සඳහා වෙන්දේසි කරන්න යන්නේ. ජූලි මාසයේ ගෙන්වනු ලැබූ කිරි දැන් නරක් වෙලා. අව් රශ්මිය නොමැති ස්ථානයක ගබඩා කළ යුතුයි. රේගුවෙන් කියනවා එහෙම පහසුකම් එයාලට නැහැලු.”

“වරායට නැව ආවේ ඔක්තෝම්බර් 20. අපි මේක අනුමැතිය සඳහා ඉල්ලලා තියෙන්නේ ඔක්තෝම්බර් 5 වනදා. ඔක්තෝම්බර් 5 වනදා කර්මාන්ත අමාත්‍යංශයට යොමු කළ ලිපිය 19 වනදා යොමු කරලා තියෙනවා ආනයන පාලකවරියට. උපුල්මලී ප්‍රේමතිලක කියන මහත්මියට. එතුමිය මේක තියාගෙන හිටියා දවස් 35ක්.. එතුමියගේ කාර්යාලයේ. නොවැම්බර් මාසේ 15 වනදා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට යවනවා ලිපියක් මේක “favourably considered” කියලා.”

“මේකේ ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු රේගු නිලධාරීන්ට. දෙන්න කියලත් නෑ නොදෙන්න කියලත් නෑලූ. එහෙනම් අපි කිව්වා.. මේක රටට අවශ්‍ය නැතිනම් මේක ප්‍රති නැව්ගත කරන්න. ඉන්දුනීසියාව, වියට්නාමය ඉල්ලා තියෙනවා මේ කිරි ටික. ඒක දෙන්නෙත් නෑ. මේ අයට ඕනේ මේක මෙතන තියලා නරක්වෙනවා කියලා ඊට පස්සේ ජාවාරම් කරුවන්ට විකුනලා දඩ මුදලින් කොටසක් ගන්න. නැතිනම් පගාව ගන්න.”

“මගේ ආයතනයේ 512ක් වැඩ කරනවා. මම ආයතනය වසා දමනවා. මට මිලියන 600ක් ලක්ෂ 6,000ක පාඩුවක් තියෙනවා. රටේ දේශීය ව්‍යාපාර වහන්නේ. බදු ගෙවනවා.”

“මම වහනවා මේ අයතනය. ජනවාරි මාසේ මේ 512ටම මම කියනවා මේකට සම්බන්ධ වෙච්ච රාජ්‍ය නිලධාරීන්ගෙන් රස්සාවල් ඉල්ල ගන්න කියලා”

එමෙන්ම රේගුවේ පවතින කිරිපිටි තොගය නිදහස් කරගැනීම සඳහා අවසර ලබාදීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බවත් කිරිපිටි ගෙන්වීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයෙන් අනුමැතිය හිමිවූ බලපත්‍රය යටතේ අදාළ ආනයනකරු විසින් ගෙන්වා ඇත්තේ කිරිපිටි නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය බවත් ආනයන අපනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය පෙන්වාදුනි.

මෙරටට ආනයනය කිරීමෙන් පසුව එම තොග නිදහස් කරගැනීම සඳහා ආනයනකරු විසින් අනුමැතිය අපේක්ෂා කළද නීතියට පටහැනි ආකාරයෙන් ආනයනය කළ එම තොග නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවට තමන් දැනුම්දුන් බවත් ඒ අනුව රේගුව විසින් පනවනු ලබන දඩ මුදලකට යටත්ව ඒවා නිදහස් කර ගැනීමේ හැකියාව පවතින බවත් ඇය වැඩිදුරටත් පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්