යුද්ධ ඇති වන්නේ පෙර දැනුම් දීමකින් තොරව බවත් ඒ සදහා ඕනෑම වෙලාවක ආරක්ෂක අංශ ශක්තිමත්ව සූදානමින් සිටිය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

මේ වන විට රට තුළ යුදමය වාතාවරණයක් නොමැති වුවද ආරක්ෂක අංශ වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන අඩු කිරීමේ කිසිදු හැකියාවක් නැති බව ඔහු කියා සිටී.

ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට මෙරට ආරක්ෂක අංශවලට වෙන් කර ඇත්තේ සුළු මුදලක් බව පෙන්වා දුන් ඔහු ආරක්ෂාවේ වටිනාකම නොදන්නා පුද්ගලයින්‍ට රට සැදීය නොහැකි බවත් ඔහු කියා සිටී.

 ඊයේ (24) පාර්ලිමේන්ත්තුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,

“යුද්ධයක් නැහැ කියලා ආරක්ෂාවට මුදල් වෙන් නොකර ඉන්න බැහැ. යුද්ධයක් එන්නේ කියලා නෙවෙයි. ඕනෑම වෙලාවක සූදානමින් සිටිය යුතුයි. යුද්ධයක් ආවට පසුව හමුදාව සූදානම් කරන්න බැහැ. අපි ඕනෑම අවස්ථාවකට මුහුණ දීම වෙනුවෙන් සූදානම් විය යුතුයි.

කිසිම රටකට බාහිර තර්ජන නැහැ කියලා හිත හදාගන්න බැහැ. ඉන්දීය හමුදා ලංකාවට ආවේ අපේ කැමැත්තෙන් නෙවෙයි. කියලත් නෙවෙයි. ඒක අපට නතර කරන්න හැකියාවක් තිබුණේ නැහැ. සිංගප්පූරුවේ ආරක්ෂාව වෙනුවෙන් වියදම් කරන වෙන් කිරීම අති විශාලයි. නමුත් ඒ රට අපේ කොළඹ දිස්ත්‍රික්කය වගේ රටක්. ආරක්ෂාව ලා‍ෙභට ගන්න බැහැ. ආරක්ෂාව මිල අධිකයි. ලෝකේ නිකන් ගන්න පුළුවන් එකම දේ මී උගුලේ තිබෙන චීස් කෑල්ල විතරයි.

ආරක්ෂක අංශ නඩත්තු කිරීම වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. වැටුප්වලට වෙන් කළ මුදල බිලියන පහකින් අඩු වී තිබෙනවා. මේකෙන් පැහැදිලි වන්නේ විශ්‍රාම යාමට සාපේක්ෂව බඳවා ගැනීම් සිදු කර නැති බවයි. යුද්ධයෙන් පසුව ආරක්ෂක අංශවලට සිදු වූ අඩු සැලකිලි නිසා බොහෝ පිරිසක් හමුදා සේවයෙන් ඉවත්ව ගිහින් තිබෙනවා. ආහාරවලට වෙන් කරන මුදල වැඩිවී නැහැ. ඒ වගේම සැපයුම් සේවා වෙනුවෙන් බිලියන 22ක් වෙන් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන වැඩියි කියා සිදු කරන චෝදනාවට මම එකඟ නැහැ. හමුදාව විදෙස් පුහුණුව ලැබීම අතිශය වැදගත්. ඒවට දෙන දීමනා ප්‍රමාණවත් නැති නිසා පුහුණුවීම් සඳහා යවන ප්‍රමාණය සියයට පනහකින් අඩු කර තිබෙනවා. හමුදාව නඩත්තු කිරීමේදී ප්‍රමිතිය ආරක්ෂා කළ යුතුයි. ලෝකයේ අනෙකුත් හමුදාවන් හා කටයුතු කළ හැකි ආකාරයට නඩත්තු කළ යුතුයි.

ලෝකයේ අනෙකුත් රටවල ආරක්ෂක වියදම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 50000ක්. නමුත් ආරක්ෂක වියදම ඩොලර් බිලියන 12.5ටත් වැඩියි. ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට අපගේ ආරක්ෂක අංශවලට වෙන් කරන්නේ සුළු මුදලක්. ආරක්ෂාවේ වටිනාකම නොදන්නා අයට රට හදන්න අමාරුයි. හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් දේශපාලකයින්ගේ අතකොලුබවට පත් නොවී රට ජාතිය ආගම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. හමුදා ප්‍රධානීන් දේශපාලකයින් ඉදිරියේ දණ ගැහුවොත් කනිෂ්ඨ සේවකයින් කටයුතු කරන්නෙත් ඒ ආකාරයටමයි.”

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්