අද දින ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කරයි.

දෙරට අතර මෙම එක්දින තරග තුන පැවැත්වෙන් අයි සී සි සුපර් ලීග් තරගාවලිය යටතේය.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන් ජයගත යුතු වේ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක,

“මට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට අනුව මම දකින්නේ නෑ ප්‍රේක්ෂක බලාපොරොත්තු බිඳ වැටිලා කියලා. බොහොම සුළු පිරිසක් තමයි කියන්නේ බලාපොරොත්තු බිඳ වැටිලා කියලා. ඒගොල්ලෝ දන්නවා අවුරුදු 2ක් තිස්සේ මේ ආපු ගමන්මග. අවුරුදු දෙකකට කළින් ක්‍රිකට් එක තිබුණේ කොහේද. එතන ඉඳලා ලෝක කුසලානය වෙනකන් ක්‍රීඩා කරපු ආකාරය හැමෝම දන්නවා. මම හිතන්නේ ඔවුන් අපිව දිගින් දිගටම දිරිමත් කරනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලොන්ට අපේ දේ හොඳින් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ”

“අපේ මානසික තත්ත්වය හොඳයි, ක්‍රීඩා කණ්ඩායමක් වුණාම ගැටලු එනවා. ඒක සාමාන්‍ය දෙයක් මම හිතන්නේ අපිට විතරක් නෙවෙයි අනිත් කණ්ඩායම්වලටත් අර්බුදකාරී තත්ත්වයන් මතුවෙනවා. ඉතින් ඒවායෙන් උඩට ඇවිල්ලා කොහොමද අපි ක්‍රීඩා කරන්නේ කියන එකයි බලාපොරොත්තු වන්නේ. අපි කණ්ඩායමක් විදියට හොඳ තැනක ඉන්නවා දක්ෂතා දක්වන්න. ”

“මම හිතනවා කාසියේ වාසිය ඉතාමත් වැදගත් කියලා ඩේ ටයිම් එකේදී පන්දුවෙන් ගොඩක් දේවල් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් කාසියේ වාසිය ගොඩාක් වැදගත්. කොහෙත්ම මට පීඩනයක් නෑ, කණ්ඩායමක් කියන්නේ හැමෝටම දක්ෂතා දක්වන්න බෑ. අන්තිමට බලන්න ඕන කණ්ඩායම දිනනවාද කියන එකයි. ඊට පස්සේ තමයි පෞද්ගලික දක්ෂතා එන්නේ. මම උපරිම දක්ෂතා අතරේ හිටියේ නෑ. බලාපොරොත්තු වෙනවා මේ තරගාවලිය හොඳින් කරන්න.”

“දිනේෂ් චන්දිමාල් එක්දින සංචිතයේ හිටියා දිගටම අපිත් එක්ක, ඉතින් මම හිතනවා එයාට අවස්ථාවක් තියෙනවා අද තරගයේ ක්‍රීඩා කරන්න. “

මෙන්න බලන්න තවත් පුවත්