කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පසුගිය කාලය තුළ ලාදුරු රෝගීන් හඳුනාගැනීම අවම මට්ටමක පැවතියද මේ වනවිට මෙරටින් වාර්තා වන ලාදුරු රෝගීන් රෝගීන් ඉහළ ගොස් ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ ළමා ලාදුරු රෝගීන් 250 දෙනෙක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙන බවත් ඒ අතරින් වැඩි දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ඔහු කියා සිටී.

කෙසේවෙතත් අප රට තුළ ලාදුරු රෝගය යලිත් ඉහළ ගොස් ඇති අවධියක එම රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම අනිවාර්යයෙන්ම ඔබ සතු විය යුතුයි.

එසේනම් අද අපි සූදානම් වන්නේ ලාදුරු රෝගය පිළිබඳ වැදගත් කරුණු කාරණා රැසක් ඔබත් සමග කතා බහ කිරීමටයි.

බැක්ටීරියාවක ප්‍රතිඵලයක්

ලාදුරු යනු බැක්ටීරියාවක් (මයික්‍රෝ බැක්ටීරියම් ලෙප්‍රේ) නිසා වැලඳෙන රෝගයකි. මෙය බෝවන්නේ හුස්මෙනි. එනම් රෝගය බෝ කළ හැකි අයකුගේ ස්වසන මාර්ගයෙන් පිටවන කෙල බිඳිති, සෙම්, සොටු ආදිය පරිසරයට මුදා හැරීමෙන් පසු වායුගෝලයට මුසු වී එය තවත් කෙනකුගේ ස්වසන මාර්ගයට ඇතුළු වේ. විසබීජය ශරීරගතවන අයගෙන් සියයට දහයකට පමණක් රෝගය ඇති වේ.

රෝග ලක්ෂණ මතු වීමට වසර 5 – 6ක්

වෙනත් රෝග මෙන් නොව විසබීජය ශරීරගත වී ලාදුරු රෝග ලක්ෂණ පෙන්වීමට වසර 5ක් 6ක් ගත වේ. මුල් කාලයේ දීම හඳුනාගත නොහැකි වීම ලාදුරු රෝගයේ ඇති අවධානමයි.

සමට සහ ස්වසන මාර්ගය දෙකට ම හානි කිරීම මෙහි භයානකමයි. සමේ පැහැයට වඩා අඩු පැහැයෙන් යුතු ලප එකක් හෝ කිහිපයක් හටගෙන ඇත්නම් ඒවා සංවේදනය පරීක්ෂා කරන ක්‍රමයකින් පරීක්ෂා කළ පසු දැනීම් අඩු නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ ලපවල යම් හිරියක් ඇති බව රෝගියාට ම දැනේවි. එවැනි ලප හිස් කබලේ හැර සිරුරේ ඕනෑම තැනක මතුවන්නට පුළුවනි.

කිහිලි, ඉකිලි වැනි උෂ්ණත්වය වැඩි තැන්වල මේ ලප හට ගන්නේ අවම වශයෙනි. මුහුණේ, අතපයවල, පිටේ, උදරයේ, පපුවේ මේ ඕනෑම තැනක හටගන්නට පුළුවන.

අළුහම් යැයි සිතා රැවටෙන්න එපා

මේ ලප අළුහමක් මෙන් බැලූ බැල්මට දිස් වේ. විසබීජය සිරුරේ පැතිරෙන විට මෙවැනි ලප ප්‍රමාණයෙන් වැඩි වේවි. බොහෝදුරට අළුහමක් යැයි සිතා වරදවා ගනී. අපේ රටේ අළුහම්වලට ප්‍රතිකාර ගන්නට පෙලඹෙන්නේ අවම පිරිසකි.

සමේ පැහැයට හෝ රතු පැහැයට හුරු ලප ඉන් එහාට පැතිරේ. ඇතැම්විට මේ ලපවල දැනීම් තියෙන්නටත් පුළුවන්. මේ ලප උළුඳු වඩයක්, ඩෝ නට් එකක් වැනි හැඩයක් ගන්නටත් පුළුවන. විසබීජය සිරුර පුරාම පැතිරී මුහුණ වෙනස් වන්නට ගනියි. පුරවා දාපු ගතියක් පෙනේ. ඇහිබැමිවල රෝම හැලී ඇහිබැමක් නැත්තා සේ දිස් වේ. ඇහිබැම තිබුණත් තැන ගැටිති හට ගනී. කන්වල සහ නිකටේත් ගැටිති හට ගනියි. නහය හිරවීමක්, කටහඬ වෙනස් වීමක් (නහයෙන් කතා කරනවා වැනි) ඇති වේ. මේ මට්ටම ආ විටයි තවත් කෙනකුට රෝගය බෝ කළ හැකි වන්නේ. එනම් ලාදුරු රෝගය බෝවන්නේ ශරීරය පුරා විසබීජය ඇති විටයි.

බෝ නොවන ලාදුරු

තනි ලපයක්, දෙකක් ඇති විට රෝගය බෝ නොවේ. ලාදුරු රෝගය බෝවන සහ බෝ නොවන ලෙස වර්ග දෙකක් ඇත්තා සේ ගැනෙන්නේ මේ නිසයි. බෝවන, බෝ නොවන ලෙස ශරීරගතව ඇත්තේ එකම බැක්ටීරියාවයි. එකම දේ බැක්ටීරියාව ශරීරයේ පාලනයකින් යුතුව පැවතිය ද එය තවත් කෙනකුට බෝ නොවේ.

මීට අමතරව ස්නායු දුර්වලතා ඇති වේ. අත හිරිවැටීමෙන් දැනේ. ඇඟිලි ටික එකතු කර බත් කටක් අනාගෙන කන්නට නොහැකි වේ. ලියන කියන දෑ, පරිගණකය පාවිච්චියේදී යතුරු පුවරුව හැසිරිම මනාව සිදු නොවේවි. මේ මට්ටමේ දී රෝගය නිශ්චිතවම හඳුනා ගතහොත් සම්පූර්ණයෙන් ම සුව කළ හැකි වේ. ඇඟිලි සම්පූර්ණයෙන් ම නොදැනෙන මට්ටමට ආ විට, කකුලේ සම්පූර්ණ යටිපතුලම හිරිවැටී ඇත්නම්, වළලු කරෙන් පහළ පාලනය කරගත නොහැකි මට්ටමේ නම් එවිට ද ඇත්තේ ස්නායු දුර්වලතාවකි. එය දුර දිග තත්ත්වයකි. බොහෝවිට යථා තත්ත්වයට පත් කරගත නොහැකි වේවි. අත්වල, යටිපතුල්වල තුවාල ඇති වී ඒවා හිරිය නිසා නොදැනේවි. මේ තුවාලවලින් විසබීජ ඇතුළුවන්නට පුළුවන.

ලාදුරුවලදී ඇඟිලි හැලෙනවා යැයි පවසන්නේ තුවාල ඔඩු දිවීම නිසා දියවැඩියාවේ දී මෙන් ඇඟිලි පාද පවා කපන්නට සිදු වීමයි. ඇඟිලි ගැලවී වැටෙනවා නොවේ.

ප්‍රතිකාර සමේ රෝග සායනවලින්

ලංකාවේ ලාදුරු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නේ සමේ රෝග සායනවලයි. හැම දිස්ත්‍රික්කයට ම අවම වශයෙන් එක් සමේ රෝග සායනයක් හෝ පවතී. ළඟම ඇති බාහිර රෝග සායනයට ගොස් මේ මේ රෝග ලක්ෂණ ඇති බව පවසා සමේ රෝග සායන වෙත යොමු කිරීමක් කළ හැකියි.

බස්නාහිර පළාතේ මධ්‍යම ලාදුරු රෝග සායනය කොළඹ ජාතික රෝහලේ කාමර අංක 12 හි පැවැත්වේ. සතියේ දින 5ම හා සෙනසුරාදා උදේ කාලයේ සායනය පැවැත්වේ. මේ සඳහා යොමු කිරීමක් අවශ්‍ය නොවේ. ලාදුරු රෝග ලක්ෂණ ඇතැයි යම් සැකයක් පවතී නම් සායනය සඳහා යොමු වී පරීක්ෂණ කරවාගත හැකියි. ලාදුරු රෝග ලක්ෂණ නම් ඇත්තේ ප්‍රතිකාර කිරීම ඇරැඹේ. වෙනත් ගැටලුවක් නම් ඇත්තේ අදාළ තැන්වලට යොමු කිරීමක් සිදු කරයි.

සායනික පරීක්ෂාව

මෙහිදී රුධිර පරීක්ෂාවක් සිදු නොවේ. රෝගියා නිවැරැදිව පරීක්ෂා කිරීමෙන්ම රෝග විනිශ්චයකට එළැඹේ. පලපුරුදු වෛද්‍යවරයකුට මෙය හඳුනා ගැනීම පහසු කටයුත්තකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය බහු ඖෂධ ප්‍රතිකාරය නම් වූ ප්‍රතිකාර ක්‍රමවේදයක් ලාදුරු රෝගීන් වෙත ලබාදේ. එය කාඩ් එකක් ලෙස පැමිණේ. බෝවන බෝ නොවන දෙවර්ගයකට ම ලබා දෙන්නේ එකම ඖෂධය යි. අවුරුදු 15ට අඩු වැඩි වශයෙන් පමණක් වෙනස් වේ. බෝවන වර්ගයට මාස 12කුත් බෝ නොවන වර්ගයට මාස 6කුත් ප්‍රතිකාර කෙරේ. මීට අමතරව ස්නායු ආබාධ ඇත්නම් ඒවාට වෙනම භෞත චිකිත්සක ප්‍රතිකාර ඇතුළු ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ම සිදුවේ.

ලාදුරු සඳහා ප්‍රතිකාර කරනුයේ විසබීජය විනාශ කිරීමට යි. හිරිය යනු විසබීජය විසින් ශරිරයේ ඇති කළ වෙනසකි. ස්නායු සම්පූර්ණයෙන් විනාශ වී ඇත්නම් හිරිගතිය මඟහැරී නොයාවි.

නමුත් ප්‍රතිකාරවලින් විසබීජය සම්පූර්ණයෙන්ම සිරුරෙන් ඉවත් වී තිබේවි. ස්නායු ආබාධ ඇති විට හැකි විගස ප්‍රතිකාර සඳහා යොමුවන්නට යැයි පවසන්නේ මේ නිසයි.

උපුටාගැනීම – තරුණී

newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්