දේශපාලඥයින් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයකදී තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) විශ්‍රාම වැටුපක් සමග රුපියල් මිලියන 2.5ක වැටුපක් ලබන බවට සිදු කර ඇති ප්‍රකාශ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

අද (24) එම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර ඇත.

එම සියලු චෝදනා අසත්‍ය ඒවා බවත් ඔහුට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසි ම විශ්‍රාම වැටුපක් නොලැබෙන බවත් ඔහු පවසයි.

වැටුප් සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා ලෙස තමන්ට රුපියල් ලක්ෂ 4ක මාසික වැටුපක් ලැබෙන බවයි. විශ්‍රාම ගිය නිලධාරියෙක් ලෙස ලැබෙන විශ්‍රාම වැටුප ඔහුට හිමිවන බව ඔහු පෙන්වා දෙයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ,

මම වගකීමෙන් කියන්නේ පළවෙනුවම ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඉතාම කනගාටුයි රටේ වගකිව යුතු දේශපාලඥයෝ මේ වගේ යම්කිසි බොරු ප්‍රකාශයක් කිව්වාම ඒක ඇත්ත කියලා හැමතැනම ප්‍රකාශ කිරීම ගැන.

පළවෙනි කාරණය මට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිම විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. මේක වගකීමක් සහිතව කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මම සහ අපේ මහ බැංකුවෙන් යම්කිසි ආකාරයකට ගියේ රට නියෝජනය කිරීම සඳහා. හැමෝටම ලැබුණු වැටුප මට ලැබිලා තියෙනවා. නමුත් මම පැහැදිලිව කියනවා මට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ.

මට ලක්ෂ 25ක වැටුපත් කියන කතාවත් සම්පූර්ණ බොරුවක්. මම මහ බැංකුවේ අධිපති විදියට, මහ බැංකුවේ විශ්‍රාම ගිය නිලධාරියෙක් විදියට අවුරුදු 29 ක් සේවය කරලා ලැබෙන විශ්‍රාම වැටුප මට ලැබෙනවා. මහ බැංකු අධිපති විදියට මම ආවා. මෙතෙක්කල් හිටිය හැම අධිපතිවරයාටම ලැබෙන යම්කිසි වැටුපක්, වාහනයක්, නිවසක් ලැබෙනවා නම් මට ලැබෙන්නේත් ඒකම තමයි.

මහ බැංකු අධිපති වශයෙන්, රජයේ නිලධාරියෙක් වශයෙන් මම කියන්න ඕනේ, මහ බැංකු අධිපති වශයෙන් මට ලැබෙන වැටුප මාසෙකට ලක්ෂ 4යි. මට ලැබුණු විශ්‍රාම වැටුප ලැබෙනවා.”

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්