කුඩා ඇළ මාර්ගයකට බිළිඳු කළලයක් දමා ගොස් සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22ක් වන ගල්හිටිකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියකි.

දැරණියගල, ගල්හිටිකන්ද ප්‍රදේශයේ දී නොවැම්බර් 21 වන දා උදෑසන කාලයේදී මෙම ඇළ මාර්ගයේ කළලයක කොටස් ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් කළලය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් පොලිසිය පවසයි.

පසුව සිදුකළ විමර්ශනයේදී සිද්ධියට සම්බන්ධ කාන්තාවක් පොලිසිය ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කර තිබේ.

සැකකාරිය ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙන්න බලන්න තවත් පුවත්