ලාංකීය කලාව තුළ ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළින්ද විශිෂ්ට රංගන ප්‍රතිභාවන් විදහා දක්වමින් රංගනයෙන් මෙන්ම සංගීත ක්ෂේත්‍රයෙන්ද ප්‍රේක්ෂක ආදරය නොමදව ලබණ ඇය නමින් දුලීකා මාරපන.

පසුගිය දින කිහිපයේ දුලීකාගේ වෙනස් මුහුණුවරක් ගත් කලා නිර්මාණයක් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.
ඇගේ එම නිර්මාණය පිළිබඳ ඇය පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ අදහස් දක්වා තිබුණා,

මෙතෙක් කල් දැකපු දුලීකා මාරපන ‘සරාගී’ ගීතය තුළින් ප්‍රේක්ෂකයො හමුවට එන්නෙ වෙනස්ම මුහුණුවරකින්. ‘සරාගී’ ගීතය නිර්මාණය වෙන්නෙ කොහොමද?

මම මුල සිටම ගීත ගායනයට යොමු වෙලා හිටියා. මම මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නෙ ගීත ගායනයෙන්. නූර්ති, නාඩගම් ගීත, වේදිකා නාට්‍ය ගීත සහ ටෙලිනාට්‍ය පසුබිම් ගීත ගායනය කොට තිබෙනවා. කාලයක් මගෙ කටහඬ නැතිවෙලා තිබුණා. ඉන් පසුව ‘සුපර්ණා’ චිත්‍රපටය සඳහා ගීතයක් ගායනා කළා. ඒ කාලෙ ඉඳලම හිතුවා මගෙම ගීතයක් කරන්න ඕන කියලා. ඉස්සර තිබුණ සුමට කටහඬ නෙවෙයි මගෙ දැන් තිබෙන කටහ¾ඩින් දෙයක් කරන්න මේ තමයි හොඳම වෙලාව කියලා හිතුවා. සංජය වෙදආරච්චි ඔහුගේ ගීත කිහිපයක් මට ගෙනල්ලා දුන්නා. ඔහුගේ උනන්දුව, කැපවීම සහ මඟපෙන්වීම හේතුවෙන් ගීත තුනක් පටිගත කරන්න පුළුවන් වුණා. ඒකෙන් පළමුවැනි ගීතය තමයි ‘සරාගී’ කියන්නෙ. සංදේශ් බණ්ඩාර

ගීතයට අපූරු රූපරචනයක් සිදු කළා. ටෙලි නිර්මාණ ඔස්සේ මාව දකින්න ලැබෙන්නෙ දුලීකා මාරපන විධියට නෙමෙයි. මම මං හැටියට කොතැනදිවත් එළියට ආවේ නැහැ. ඉතින් මට හිතුණා මේ ගීතය තුළින් මගෙ සැබෑ ස්වරූපයෙන් ප්‍රේක්ෂකයො අතරට එන්න. ගීතය සංගීතවත් කරන්නෙ තුසිත් සම්පත්. මේ වෙනකොට යූටියුබ් ට්‍රෙන්ඩින් වෙලා තිබෙන ‘සරාගී’ ගීතය ප්‍රේක්ෂකයො අතර විශාල කතාබහකට ලක් වෙනවා. හැමෝම කියනවා ඒ පෙනුමට කැමැතියි කියලා. රාත්‍රි සැරිසරන චරිත සම්බන්ධයෙන් තමයි ‘සරාගී’ නිර්මාණය වෙන්නේ. මෙය ඕනම කෙනකුට රසවිඳිය හැකි ගීතයක් සහ මුමුණන්න පුළුවන්, නැළවෙන්න පුළුවන් ගීතයක්. ඉතින් එහෙම තමයි සරාගී නිර්මාණය වෙන්නෙ.

ඒ වගේම මේ දිනවල ඇයගේ කලා කටයුතු පිළිබඳව ඇය මෙසේ පැවසුවා,

මේ දවස්වල ජීවිතේ ගොඩක් හොඳයි. රටේ පවතින සමස්ත ගැටලු ටික හැරුනම වෙන කිසිම ගැටලුවක් නැහැ. කලා කටයුතු පැත්තෙන් අපි සාමාන්‍ය විධියට වැඩ කරගෙන ඉන්නවා. අලුත් වේදිකා නාට්‍යයක් කරනවා ‘සුකිරි බටිල්ලෝ’ කියලා. ඒක ජනවාරි මාසයේ 27/28/29 ලයනල් වෙන්ට් රඟහලේදී වේදිකාගත කරනවා. එය රටේ පවතින උද්ධමනය, දේශපාලනය සහ සමාජීය වාතාවරණය මත නිර්මාණය වන වේදිකා නාට්‍යයක්. මේ නාට්‍ය පහසනයක්. ඊට අමතරව ශාන්ත සොයිසාගේ අලුත් ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කරලා තිබෙනවා. විශේෂම දෙය තමයි මම කරපු සරාගී ගීතය ට්‍රෙන්ඩින් වෙලා තිබෙනවා. ඉතින් ඔහොම තමයි මේ දිනවල වැඩකටයුතු.

ලාංකීය කලා ක්ෂේත්‍රයේ නවකයන් වෙනුවෙන් ප්‍රවීණයෙක් විධියට ඇය දුන්නේ මෙවැනි උපදෙසක් ,

එහෙම උපදෙස් දීම ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද කාලෙන් කාලෙට පවතින ක්‍රමය වෙනස් වෙනවා. මම ක්ෂේත්‍රයට අවතීර්ණ වුණ කාලය වගේ නෙමෙයි වර්තමානය වෙනස්. මේක තනිකරම සමාජ මාධ්‍ය සමඟ ගනුදෙනු කරන යුගයක්. ඉතින් එතකොට මම හිතන්නෙ නවකයන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා. කොහොමද මේ තිබෙන ඩිජිටල් ක්‍රමයත් එක්ක ගනුදෙනු කරන්නෙ කියන කාරණා ඔවුන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. එකම දෙයක් කියන්න තිබෙනවා. ඔබ කරන කුමක් හෝ නිර්මාණයක් වේ නම් ඒ වෙනුවෙන් කැපවීමෙන් සහ අධ්‍යයනයෙන් යුතුව විනයකින් යුතුව කළ යුතුයි. මොකද කලාව කියන්නෙ එකපාරටම ඕපපාතිකව වැටිලා නිර්මාණයක් දෙකක් කරලා හැලිලා යන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. කලාවට දවසින් දවස අලුත් පරම්පරාව අවශ්‍යයි. හැබැයි ඒ පැමිණෙන පරම්පරාව හොඳ දැනුවත්වීමකින් සහ අධ්‍යයනයකින් යුතුව පැමිණිය යුතුයි. ඒක තමයි වැදගත්ම දෙය.

ඇයගේ ඉදිරි කලා කටයුතු පිළිබඳ ඇය මෙසේ කියා සිටියා,

ඉදිරි වැඩකටයුතු කිහිපයක් තිබෙනවා. මං බලාපොරොත්තු වෙනවා ප්‍රසංග වේදිකාව ප්‍රේක්ෂකයන් පිනවන තැනක් බවට පත් කරන්න. අලුත් හැඩයකින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගෙ අලුත් ගීත දෙකක් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙයි. ඊට අමතරව අලුත් ටෙලිනාට්‍යයක සහ සිනමා නිර්මාණයක සෝදුපත් සකස් කරමින් ඉන්නවා. නිෂ්පාදිකාවක් විධියට නිර්මාණකරණය තුළ සිනමා නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අවසාන වශයෙන් මට දෙයක් කියන්නට අවශ්‍යයි. ඔබ ගැන හිතන්න, ඔබ වෙනස් වෙන්න එහෙම වුණොත් මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි මට කියන්න තිබෙන වැදගත්ම දෙය.

උපුටා ගැනීම – හදගැස්ම

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්