මොනරකුඩුම්බිය (Cyanthillium cinereum)

ආයුර්වේදයට අනුව ඖෂධීය ගුණයෙන් ඉහළ ශාක වර්ග අතරින් මොනරකුඩුම්බිය ඉතාමත් සුවිශේෂී වූ ශාකයකි. ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් භාවිත කළ හැකි මෙම ශාකය කුඩා දරුවන්ට සෑදෙන පණු රෝග මාන්දම් රෝග ඇතුළු රෝග රැසකටම ඉතාමත් ගුණදායකයි.

Asteraceae කුලයට අයත් බහුවාර්ශික ශාකයක් වන මෙහි දාර සහිත පත්‍ර ඇති අතර දම් පැහැති මල් කුඩා පොකුරක් ලෙසින් හට ගනී. මලෙහි ස්වභාවය මොනර ශිඛාවෙහි ස්වරූපය ගන්නා බැවින් මොනරකුඩුම්බිය යන නාමය ලැබී ඇත.

මෙහි ලපටි දළු හා කරටි ව්‍යංජනයක් ලෙසත්, නොමේරූ කොල මැල්ලුම් ලෙසත්, කැඳ ලෙස සම්පුර්ණ ශාකයමද භාවිතා කළ හැකිය.

නිවර්තන කලාපීයව ආසියාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ආශ්‍රිතව පවතින බැවින් ඒ ඒ රටවලට ආවේනික වූ පාරම්පරික වෛද්‍ය ක්‍රම වලදී මෙම ශාකය යොදා ගෙන ඇත. දුම්වැටි සඳහා ඇබ්බැහි වූවන් ඉන් මුදවාලීමට තායිලන්තය වැනි රටවල් මෙම ශාකය යොදා ගැනීම ඒ සඳහා උදාහරණයකි.

ජ්වර, මුත්‍රාශ ගල්, මුත්‍ර දාහ, මුත්‍ර පිටකිරීමේ අපහසුතා, ග්‍රහනි, මාන්දම, සෙංගමාලය, අක්ෂි රෝග, චර්ම රෝග, විෂ රෝග, පණු රෝග වැනි රෝගාවස්ථා සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මෙම ශාකය ඖෂධයක් වශයෙන් භාවිතා කරයි.

විශේෂයෙන්ම ළදරුවන්ට ඇතිවන පණු රෝග හා මාන්දම් රෝග වලට මෙම ඖෂධයෙන් සකස් කර ගත් යෝග යොදා ගනියි. මෙම ශාකයට අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාව ඇති අතර ප්‍රතිශක්තිය වර්ධනය කරයි. රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව ඇති බැවින් කුෂ්ට රෝග වල දී ද භාවිතා කරයි.

මෙම ශාකයට මූත්‍රකාරක, ප්‍රතිප්‍රදාහාත්මක, ප්‍රතිඔක්සිකාරක හා පිළිකා මර්දන හැකියාව ඇති බව 2022 හි ප්‍රකාශයට පත් Metabolite profiling of Cyanthillium cinereum (L.) H. Rob. And its herbal formulation by tandem mass spectroscopic analysis පරීක්ෂණයෙහි දක්වා ඇත. 2020 වසරේ ප්‍රකාශිත Anticancer effect of phytochemicals from Cyanthillium cinereum against cancer target matrix metallopeptidase හා 2022 දී ප්‍රකාශිත Isolation of Sesquiterpene Lactones and the Antioxidant and Anticancer Activities of Crude Extracts from Cyanthillium cinereum මඟින් මෙම ශාකය සතු පිළිකා මර්දන හැකියාව පර්යේෂණයට බඳුන් කර ඇත. එසේම 2011 දී ප්‍රකාශිත Therapeutic Potential of Polar and Non-Polar Extracts of Cyanthillium cinereum In Vitro පර්යේෂණ පත්‍රිකාවෙහි දක්වා ඇති පරිදි මෙම ශාකය ශ්වාසය (හතිය), කොළරාව, ග්‍රහණි, බෙලහීනතා හා සන්ධි රෝග සඳහා ද මොනරකුඩුම්බිය මුලෙහි යුෂ ගෝණුසු, නයි විෂ සඳහා ද යොදා ගතහැකි බව මෙහි සඳහන් වේ.

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
සැකසුම – බිනාලි රාජපක්ෂ

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්