වර්තමානයේ මෙරටමුහුණ දී සිටින විදුලි අර්බුදයට හේතුව රුසියාවෙන් ප්‍රමිතිය අඩු බොර තෙල් ගෙන්වීම බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් විසින් චෝදනා කර සිටියි.

මෙහිදි ඔවුන් සඳහන් කර සිටින්නේ එම බොරතෙල් පිරිපහදු කිරීමෙන් ලබා ගන්නා දැවි තෙල් මගින් විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.

මේ වන විට අවස්ථා දෙකකදි මෙට්‍රික් ටොන් 170,000 කට ආසන්න බොර තෙල් තොගයක් රුසියාවෙන් ආනයනය කර ඇති අතර ඒ අතරින් අවසන් වරට ආනයනය කළ බොර තෙල් තොගයෙන් මෙට්‍රික් ටොන් 50,000 ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමට ඉතිරිව ඇත.

මේ පිළිබඳව දක්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහත විසින්ද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහිදි ඔහු සඳහන් කරන්නට යෙදුණේ අදාළ බොර තෙල් නිසි ප්‍රමිතියෙන් තොර ඒවා බවයි.

කෙසේ වෙතත් එම චෝදනාව සම්බන්ධයෙන් නෛතිකව පිළිතුරු ලබා දෙන බවට දක්වමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවිඩයක් යොමු කර ඇති අතර, එයට පිළිතුරු ලබා දුන් ජනක රත්නායක මහතා ප්‍රකාශ කොට ඇත්තේ “වගකීම විය යුත්තේ වැරැද්ද පෙන්නපු කෙනාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නෙමෙයි වැරැදක් වෙලා තියෙනවා ද කියලා හොයලා බලන එක” යනුවෙනුයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්