ලබන දෙසැම්බර් 31 දායින් පසු විශේෂඥ වෛද්‍යවරු 300 දෙනෙකු පමණ විශ්‍රාම යන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඒ රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන්.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුගේ අස්සනින් යුතුව නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වන්නේ එක් දිනක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් වැඩි ම පිරිසක් විශ්‍රාම ගන්නා දිනය දෙසැම්බර් 31 වන දා වනු ඇති බවයි.

දෙසැම්බර් 31 වන දා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 43ක්, මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 30ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 17ක්, ළමා රෝහලේ 15ක් හා අපේක්ෂා රෝහලේ 9 දෙනෙකු ද විශ්‍රාම ගන්නා බවත් මෙරට සේවය කරන ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා දායක වන පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 33 දෙනාගෙන් 08 දෙනකු 31 වන දා විශ්‍රාම ගන්නා බහ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දුගේ නිවේදනයේ දැක්වේ.

මෙයින් දෙදෙනෙකු මේ වන විටත් විශ්‍රාම ගොස් ඇති බව ත් පස් දෙනෙකු විදේශගත වී ඇති බව ත් එහි සඳහන් වේ.

තවත් දෙදෙනෙකු විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින් අවසානයේ ඉතිරිවන්නේ පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 14 දෙනෙකු පමණකැයිද එහි සඳහන්ව තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අර්බුදයේ ප්‍රමාණය පෙන්වා දෙන හොඳ ම උදාහරණය අපේක්ෂා රෝහලේ ඇට මිදුළු සැත්කම් බවත් මේ වනවිට එහි දින ලබා දෙන්නේ 2025 වසරේ සැත්කම් සඳහා බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්