ලාංකීය හඬ පෞරුෂයන් අතර සිරස නාලිකාවේ විකාශය වන වොයිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගනිමින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි හරිත් විජේරත්න මේ දිනවල බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රිය තරුවක්.

මේ වන විට වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු සිය අධ්‍යාපන කටයුතුත් සමඟ සංගීත ක්ෂේත්‍රය තුළද විවිධ ගීත නිර්මාණයන් සිදු කරමින් පවතී.

එලෙස පසුගියදා ඔහුගේ හඩින් ගායනා කරන ලද පුදසුන නමින් තවත් ගීතයක් එළිදක්වනු ලැබුවා.

වෙනස්ම ආරකින් නිර්මාණය වුණු එම ගීතය පිළිබඳ පුවත් පත් සාකච්ඡාවක දී ඔහු මෙසේ කියා සිටියා.

වොයිස් තරගාවලිය අවසන් වීමට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන උවිදු දීයමුල්ල කියන මල්ලී එයා නිර්මාණය කරපු මියුසික් ට්‍රැක් එකක් මට එවලා තිබුණා. තරගාවලිය අවසන් වුණාට පසුව මම ඒක එම්. එන්ටර්ටේන්මන්ට් හි මල්කි විජේමාන්න අක්කාට අහන්න දුන්නා. ඉන්පසුව ඒ ට්‍රැක් එකට මම තනුවක් නිර්මාණය කරලා, ඕනෑම කෙනෙක් අතර ඇතිවන ප්‍රේමය පිවිතුරුයි කියලා පෙන්වන ගීතයක් මට කරන්න ඕනෑ අක්කා ඒකට කැමැති ද කියලා මම ඇයගෙන් ඇසුවා. තනුව සහ ට්‍රැක් එක එකතු කරලා එයට අනුව මල්කි අක්කා පද රචනාව කරලා ගීතය පටිගත කළා. සංගීත සංයෝජනය කළේ ලහිරු ද කොස්තා අයියා. ඉන්පසුව චාරුක දුෂ්‍යන්ත මියුසික් වීඩියෝ එක නිර්මාණය කළා. ගයාන් ශ්‍රීමාල් නර්තන වින්‍යාසය නිර්මාණය කළා සහ ගයාන් ශ්‍රීමාල්ගේ නර්තන කණ්ඩායම වීඩියෝවට සම්බන්ධ වුණා. හැමෝම එකතු වෙලා වැඩේ ලස්සනටම කළා.

මේ වගේ නිර්මාණයක් කිරීමට සිතුවේ මේ වෙනකොට සංගීත ක්ෂේත්‍රයේ කවුරුවත් මේ ගැන කතා කරලා නැහැ. හාසේ‍යා්ත්පාදන ශිල්පීන් සහ සංගීත ශිල්පීන් බොහෝ විට උත්සාහ කරන්නේ සමලිංගිකයන්ව සහ සංක්‍රාන්ති ලිංගිකයන්ව උපහාසයට ලක් කරන්න. මට අවශ්‍ය වුණා මේ අය විහිළුවක් නොවෙයි. අපි ලස්සනයි. අපි ආදරය දැනෙන හදවත් ගැහෙන මිනිසුන්, හැකියාව තිබෙන දක්ෂයන්, අපි ස්මාර්ට් කියන එක පෙන්වන්න මට අවශ්‍ය වුණා.

ලැබෙන ප්‍රතිචාර ගැන මට විශාල සතුටක් තිබෙනවා. මම සිතුවේවත් නැති තරම් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. මා සමඟ මෙතෙක් සිටි ප්‍රේක්ෂකයන් සහ මා සමඟ අලුතෙන් එකතු වූ ප්‍රේක්ෂකයන් බොහොම ආදරණීය පිරිසක් බව මට වැටහුණා. මම කියන්න උත්සාහ කළ පණිවුඩය ඔවුන් නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා වගේම ඔවුන් එයට ඔවුන්ගේ අර්ථකථනත් එකතු කරමින් ලස්සන අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. හැම නිර්මාණයකටම හොඳ වගේම නරක ප්‍රතිචාර ලැබෙනවා. නමුත් මේ නිර්මාණයට නරක ප්‍රතිචාර ලැබුණේ බොහොම අඩුවෙන්.

ඒ වගේම සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරිමටත් ඔහු අදහස් කරන බව මෙසේ පැවසුවා.

ඔව්. මේ ගීතයත් එවැනි ප්‍රයත්නයක්. ඉදිරියේදී විවිධ සංවිධාන සමඟ සම්බන්ධ වෙලා හිරිහැරයන්ට ලක්වන පිරිස් සහ සමලිංගික ප්‍රජාව පිළිබඳව නොදැනුවත් අයව දැනුවත් කරන වැඩපිළිවෙළකට සම්බන්ධ වී කටයුතු කරන්න අදහසක් තිබෙනවා.

කායික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් වීමට බලාපොරොත්තු වන ඔහුගේ සිය අධ්‍යාපන කටයුතුත් කලා කටයුතුත් සාර්ථක වේවා කියා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්