පසුගිය 16 වන දා සිට අතුරුදන්ව ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිවු වන වසරේ අධ්‍යාපනය ලබන අංජන කුලතුංග (23) නමැති සිසුවාගේ සිරුර සොයා මේ වනවිට විශේෂ කිමිදුම් කණ්ඩායමක් මහවැලි ගඟේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටින බව වාර්තා වේ.

පසුගියදා 18දා ඔහුගේ මවුපියන් පේරාදෙණිය පොලිසියට මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

16 වන දා සිට ඇමැතුම් ලබාගත් අවස්ථාවේ දුරකතනයෙන් ප්‍රතිචාර නොමැති වීම නිසා සිසුවාගේ මවුපියන් ඒ පිළිබඳව නවාතැන්පොළේ හිමිකරුට දැනුම් දී තිබෙන අතර සිසුවා නවාතැන්ගෙන සිටි පෞද්ගලික ස්ථානයක කාමර පරීක්ෂා කළ අවස්ථාවේ එහි තිබී හමුවූ මහවැලි ගඟට පැන සියදිවි නසා ගන්නා බව සඳහන් ලිපියක් ද පොලිසියට භාර දී ඇත.

යක්කල ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ මවුපියන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ සිසුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම සිසුවා මානසික ආතතියෙන් පෙළීම සම්බන්ධයෙන් කාලයක සිට ප්‍රතිකාර ලබාගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු සදහන් කරයි.

මීට සති කිහිපයකට පෙර ද පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවෙක් මහවැලි ගඟට පැන සියදිවි නසා ගත් අතර එම සිසුවා ද මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ගෙන තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්