අභය භූමිවලට මුදා හැර ඇති ගවයින් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපලවලට යොමු කිරීමට තීරණය කර ඇත.

 

ඒ පිළිබඳව දක්වමින් කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර සිටියේ හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල  ගව පාලනයෙහි නිරතව සිටින පුද්ගලයින් ගවයින්ට ආහාර සඳහා අවශ්‍ය තණකොළ සහිත බිම් හිඟ වීම නිසා තම සතුන් අභය භූමිවලට හා වනාන්තරවලට මුදා හැර ඇති බවයි.

 

ඒ අනුව එලෙස යාල, විල්පත්තුව, ලුණුගම්වෙහෙර, උඩවලව, කැබිලිත්ත වැනි අභය භූමි, වනාන්තර හා රක්ෂිතවලට  මුදාහැරෙන මී ගවයින් හා එළගවයින් වනාන්තරවල ඇති පැළෑටි උළාකෑමට නිසා සෙසු වන සතුන්ට අවශ්‍ය ආහාර හිඟ වීම හේතුවෙන්  වන අලි ගම් වැදීම ඉහළ ගොස් තිබේ.

 

තවද මෙරට තුළ සිටින කිරිගවයින් ප්‍රමාණයේ හිඟකම හේතුවෙන්  දෛනිකව පශු සම්පත් මණ්ඩලයට ලැබෙන කිරි ප්‍රමාණය අඩුවෙමින් පවතින අතරම පකිස්ථානය හා ඉන්දියාව වැනි රටවලින් කිරිගවයින් අලෙවි කිරීම ද අත්හිටුවා ඇත.

 

ඒ පිළිබඳව දක්වමින් කෘශි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ ඉන්දියාවෙන් කිරි ගවයින් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමග සාකච්ඡා කරමින් පවතින බවයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්