ගෞතම් අදානි ලොව ධනවතුන් අතරින් 2 වන ස්ථානයට පත්ව තිබේ.

 

නවතම ෆෝර්බ්ස් වාර්තා අනුව පසුගිය මාසය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 137 (පවුම් බිලියන 117) ක් වශයෙන් පැවති  ඔහුගේ ශුද්ධ වත්කම් ප්‍රමාණය මෙම මාසය වන විට ඩොලර් බිලියන 55.4 දක්වා ඉහළ නැගීමත් සමග  මීට පෙර දෙවන ස්ථානයේ රැඳී සිටි ජෙෆ් බේසොස් පරදා ඉහළට ඒමට ඔහුට හැකිවී ඇත.

 

 

ඒ අනුව අදානිගේ වත්කම් ප්‍රමාණය දෙවනි වන්නේ ලොව ප්‍රකට ටෙස්ලා හිමිකරු වන  ඊලොන් මස්ක් ට පමණි.

 

තවද ලොව ධනවතුන් අතර මුල්ම දෙදෙනා අතරට පැමිණි පළමු ආසියාතිකයා බවට පත් වීමට ඔහුට හැකියාව ලැබී ඇත.

 

3 වන ස්ථානය හිමිකර ගත් ඇමේසන් ප්‍රධානි ජෙෆ් බෙසෝස් ගේ ශුද්ධ වත්කම් වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 153 ක් වේ.

 

ඔහුගේ බොහෝ ව්‍යාපාර ස්වභාවික ගෑස්, ගල් අඟුරු කැණීම් සහ විදුලිය උත්පාදනයට සම්බන්ධ වන අතර  ගෝලීය බලශක්ති ප්‍රභවන්ගේ මිල තව දුරටත් වැඩිවෙමින් පවතින තත්වයක් තුළ මෙම වසරේ ඉදිරි කාලය තුළදීද සැලකිය යුතු මට්ටමකින් ඔහුගේ වත්කම් ඉහළ නැංවෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

එමෙන්ම ආර්ථික විශේෂඥයන්ගේ මතය වනුයේ, අදානි හැර මෙම දර්ශකයේ   ඉහළම 10 දෙනා අතර සිටින සියලුම ප්‍රකෝටිපතියන් මේ වසරේ ඔවුන්ගේ වත්කම්  පහත වැටීමේ  අවදානමකට  මුහුණ දී ඇති බවයි.

 

අදානිගේ සමූහ ව්‍යාපාරය සතුව ඉන්දියාවේ විශාලතම පුද්ගලික අංශයේ වරාය සහ ගුවන් තොටුපළ පරිපාලනය මෙන්ම ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි දැවැන්ත ගල් අඟුරු ආකරයක් ද ඇති අතර, නමුත්  මහා බාධක පරයට පාරිසරික බලපෑම එල්ල කිරීම හා  වසරකට ජලය ලීටර් බිලියන ගණනක් භාවිතා කිරීම සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව දැඩි විවේචන එල්ල වී තිබේ.

 

එමෙන්ම ශ්‍රී ලංකාව තුළද වරාය ක්ශේත්‍රයට සිදු වන අදානිගේ මැදිහත්වීම සම්බන්ධයෙන් පසුගිය කාළ වකවානුව තුළ බොහෝ මත ගැටුම් ඉදිරිපත් විය.

 

ග්‍රේටා තුන්බර්ග් නම් වූ  නව යොවුන් වියේ පසුවන  ස්වීඩන් ජාතික පරිසරවේදිනිය විසින් අදානිගේ ගල් අඟුරු බලාගාරයට එරෙහිව හඬ නැගීමත් සමග එයින් පරිසරයට සිදුවන හානිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර, නමුත් අදානි සමාගම විසින් එම ගැටළුව විසඳා ගනු ලැබුවේ  හරිත බලශක්තිය සඳහා ඩොලර් බිලියන 70 ක් ආයෝජනය කර ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති  නිෂ්පාදකයා බවට පත් වීමේ  පොරොන්දු මතයි.

 

තවද ඇතැම් පුද්ගලයන් විසින් චෝදනා කරනු ලබන්නේ අදානි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පවතින සබඳතාවයෙන් මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබා ඇති බවටය.

 

එම චෝදනා එල්ල වීමට ප්‍රභලම හේතුවක් වූයේ 2018 දී ඉන්දියානු ගුවන් තොටුපළවල් 6 ක් පුද්ගලීකරණය සඳහා පෙළගස්වන විට, ගුවන් තොටුපළ පවත්වාගෙන යාමේ කිසිදු අත්දැකීමක් නොමැති සමාගම්වලට ඒවා ලංසු තැබීමට ඉඩ දීම සඳහා අගමැති මෝදි විසින් නීති ලිහිල් කිරීමයි. ඒ සමගම  අදානි සමාගම විසින් එම ගුවන්තොටුපොළවල් 6ම මිලදී ගෙන රටේ විශාලතම ගුවන් තොටුපළ ක්‍රියාකරු බවට පත් විය.

 

එම සිදුවීම සම්බන්ධයෙන් දක්වමින් කේරළ ප්‍රාන්ත මුදල් අමාත්‍ය තෝමස් අයිසැක් කියා සිටියේ එය  “නිර්මල ගජමිතුරු ක්‍රියාවක්” ලෙසයි.

 

මෝදිගේ  2014 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු, අදානි  විසින් අගමැති හට සංචාරයක් සඳහා   ඔහුගේ පුද්ගලික ජෙට් යානය ලබා දුන් අතර,  2014 දී මෝදි ගේ  මැතිවරණය වන විට ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 8 ක් වූ අදානිගේ වත්කම්  අද වන ඩොලර් බිලියන 137 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1,600% කට වඩා වැඩි වීමකි.

 

එමෙන්ම  අදානි විසින් පසුගිය සතියේ, ඉන්දියාවේ ඉතිරිව ඇති ස්වාධීන රූපවාහිනී නාලිකා කිහිපයෙන් එකක් ලෙස New Delhi Television (NDTV) රූපවාහිනී ජාලයේ 29% ක කොටස් මිලදී ගත් අතර,  NDTV ප්‍රකාශ කර ඇත්තේ  අදානි විසින්  සමාගමේ සම-නිර්මාතෘවරුන් සහ සම සභාපතිවරුන් වන හිටපු මාධ්‍යවේදියෙකු වන රාධිකා රෝයි සහ ඇගේ සැමියා වන ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙකු වන ප්‍රනෝයි රෝයිට නොදන්වා තෙවන පාර්ශවයක් හරහා ඔහුගේ කොටස් ලබා ගත් බවය.

 

සටහන : newsmania වෙනුවෙන් අක්ෂි මාපා වීරසිංහ

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්