පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල මොහොමඩ් ඉන්සාෆ් නමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21 ක් නිෂ්පාදනය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දුනි.

නීතිපතිවරයා විසින් ගොනු කළ එම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ විත්තිකරුවන්ට භාර දීම සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇගිලි සලකුනු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා නඩුවේ මුල් වාර්තාව අධිකරණය හමුවට කැදවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කොට තිබුණී.

ඉන් අනතුරුව නඩුව ඔක්තෝම්බර් මස 27 වනදා කැඳවීම ද විනිසුරුවරයා නියෝග කළා.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර ගත කර සිටින විත්තිකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුනි.

2018 ජනවාරි මස 01 වනදා සිට මාර්තු මස 30 වනදා දක්වා කාල සීමාව තුළ කිරුළපන සහ වැල්ලවත්ත ප්‍රදේශ වලදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට දායක වූ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තා සමග එක්ව නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව පිපිරුම් උපක්‍රම 21 ක් නිෂ්පාදනය කිරීම,ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 21 දෙනෙකු නම් කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්