2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතල අනතුරක් සිදු කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ විභාගය ලබන මාර්තු මස 15 වනදා දක්වා අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කලා.

පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

ප්‍රියන්ත ජයවර්ධන, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම් කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා පත්‍රය දෝෂ සහගත බව පෙන්වා දුන්නා.

එහි පළමු වන චෝදනාව මත පදනම්ව සෙසු චෝදනා ගොනු කර ඇති බවත් පළමු චෝදනාව වැරැදි සහගත වන බැවින් ඒ මත පදනම් වූ සෙසු චෝදනා ද දෝෂ සහගත බව ඔහු කියා සිටියා.

ප්‍රශ්ණගත රිය අනතුර සිදු වූ අවස්ථාවේදී අදාළ වාහනය පැදවූයේ තම සේවාදායකයා නොවන බවත් ඒ බව පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැහැදිලිවම කරුණු වාර්තා කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

අනතුර සිදු කල වාහනය පැදවුවේ හිටපු අමාත්‍ය වරයාගේ රියැදුරු වන අතර එම රියැදුරා අදාළ චෝදනාවලට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන දඩ මුදල් ගෙවූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එම තීන්දුවට එරෙහිව මේ දක්වා නීතිපතිවරයා විසින් කිසිදු අභියාචනයක් ඉදිරිපත් කර නොමැති බවත් එසේ තිබියදී නීතිපතිවරයා විසින් තම සේවාදායකයාට එරෙහිව මෙම නඩුව ගොනු කිරීම නීතියට පටහැණි බවත් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙන්වා දුන්නා.

එබැවින් මෙම චෝදනා පත්‍රය මත කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.

එම අවස්ථාවේදී අදාළ චෝදනා පත්‍රය පරීක්‍ෂාවට ලක් කළ ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා ප්‍රමූඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලද සදහන් කළේ අදාළ චෝදනා පත්‍රයේ යම් යම් දෝෂයන් පවතින බවයි.

මෙහි දෙවන විත්තිකාර දිලුම් තුසිත කුමාර නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුව දඩයක් ද නියම කර තිබියදී එම චෝදනාව මතම ඔහුට එරෙහිව යලි නඩු පැවරීම දෝෂ සහගත බවත් විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විවෘත අධිකරණයේ පෙන්වා දුන්නා.

එහිදි නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම රිය අනතුර සම්බන්ධයෙන් විත්තිකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව වෙන් වෙන් වශයෙන් චෝදනා පත්‍ර දෙකක් ගොනු කර ඇති බව සඳහන් කළා.

එම චෝදනා පත්‍ර සම්බන්ධයෙන් විත්ති පාර්ශවය ඉදිරිපත් කළ විරෝධතා කොළඹ මහාධිකරණය මෙන්ම අභියාචනාධිකරණය විසින් ද ප්‍රතික්ෂේප කල බව ඔහු සඳහන් කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම විභාගයට අවසර දීමට තීරණය කළා

ඒ අනුව පෙත්සම් විභාගය ලබන වසරේ මාර්තු මස 14 වැනිදා පැවැත්වීමට නියම කරමින් අදාළ තහනම් නියෝගය නිකුත් කළා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශීයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරකට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ හමුවේ නඩු පවරා තිබුණා

එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන්ගේ නීතිඥවරු කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කලත් ඒවා ප්‍රතික්ෂේප කොට නඩුව විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කර තිබුණා.

එම තීරණය නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රණවක මහතා ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්