චීනය දකුණු කොරියාව වැනි රටවල් මෑත සමය තුළ විනෝදාත්මක ක්ෂේත්‍රයේ අඩි සිය ගණනින් ඉදිරියට පැමිණි අතර, ඔවුන් සිය කලාවන් ආදයම් ඉපයීමේ මාර්ග බවට පත් කොට ගෙනා අති සාර්ථකත්වයට ලඟා වූවා. 

 

උදාහරණයක් ලෙස දකුණු කොරියානු පොප් කලාව මේ වන විට ලෝක සංගීත ක්ෂේත්‍රය අතික්‍රමණය කර ඇති අතර, ඒ හා සමානවම චීන නිර්මාණ හා කලාකරුවන් වෙතද ලෝකයේ අවධානයක් යොමු වෙමින් පවති.

 

මේ කරුණු කෙසේ වුවද, මේ වන විට චීනය තුළ ඇතැම් කලාකරුවන්ට පවතින්නේ සුබවාදී තත්වයක් නම් නොවෙයි. එයට හේතුව වන්නේ පසුගිය වසරේ සිට චීන පාලන අධිකාරිය විසින් එරට විනෝදාත්මක ක්ෂේත්‍රයේ නිරත වෙන්නන් අරඹයා දැමූ දැඩි නීති රීතී

 

 සියුමැලි පිරිමින්ට කලාව තහනම්

 

 චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පත් වීමත් සමග එරට කලාව දැඩි ලෙස නියාමනය ලක් වූ අතර, පසුගිය වසරේ සැප්තැම්බර් 2 වනදා චීන බලධාරීන් විසින්,  එරට විනෝදාස්වාද ක්ෂේත්‍රයේ අංශ රැසක් නියාමනය කරමින්, කරුණු අටකින් යුක්ත වූ සැලැස්මකට අනුව, “කලා හා විනෝදාත්මක සංදර්ශන සහ අදාළ පුද්ගලයින් තවදුරටත් නියාමනය කිරීම” සඳහා දැනුවත් කිරීම් සිදු කරනු ලැබුවා.

 

 

එහිදි ඔවුන් කියා සිටියේ විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ ඇතැම් පුද්ගලයින් එරට  තරුණයින්ට නරක ලෙස බලපෑම් කරන බවයි. මෙහිදී ඔවුන් විසින් සමාජ වාතාවරණය දැඩි ලෙස දූෂණය කරන බව කියා සිටි එරට පාලන අධිකාරිය, චීනය වැනි රටවල කලා නිර්මාණ තුළ බහුලව දක්නට ලැබෙන සුකුමාල , කාන්තා ලාලිත්‍ය රැගත් පුරුෂ චරිත නියාමනය කිරීමට තීරණය කරනු ලබනවා.

විශේෂයෙන් එම රටවල් වල එවැනි විලාසිතාවන්ට බර, රූපලාවණ්‍ය ආලේප භාවිතා කරන සුකුමාල පිරිමි චරිත හා එවැනි කලාකරුවන්ට විශාල ඉල්ලුමක් පැවතියත් එරට රජය කියා සිටියේ, තව දුරටත් චීන නිර්මාණ තුළ එවැනි චරිත රඟ දැක්වීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවයි.

 

එමෙන්ම ඊට අමතරව ඔවුන් විසින් ගෙනා නව නීති වලට අනුව , නිවැරදි රූපලාවණ්‍ය ප්‍රමිතියක් ඉදිරිපත් කිරීම ,  වැඩි වශයෙන් විනෝදාස්වාදය සපනය රංගන ශිල්පීන් වාරණය, අතීතයේදී වැරදි කළ හා වැරදි වලට හසුවූ ශිල්පීන් වාරණය,  රූපවාහිනී හා අන්තර්ජාල විනෝදාත්මක අංශවල ව්‍යාපරික ආයතන  සඳහා  පුහුණුවක් සහ ස්වයං විනයක් ලබා දීම, පෙර වැරදිවලට හසුවූ ජනප්‍රිය  පුද්ගලයින්  විවිධාකාර වූ තරු තේරීමේ තරඟවලට  (  idol audition shows  )  ගෙන්වීම වාරණය,  ජනප්‍රිය පුද්ගලයින්ගේ විශාල වැටුප් පැකේජයන්  නියාමනය කිරීම ආදිය  සිදු වනවා.

 

රූපලාවණ්‍ය ආලේපන භාවිතයට දැමූ තහංචිය

 

මෙම කරුණ චීනය පුරා දැඩි මතබේදයන්ට ලක් වූ කාරණයක් වූවා, හීන පාලන අධිකාරිය විසින් පසුගිය වසර තුල එරට විනෝදාස්වාද ක්ෂේත්‍රය නියාමනය කරන විට ඔවුන් විසින් අධික ලෙස වේශ නිරූපණයන් සිදු කරමින් නිර්මාණ වලට දායක වීම සම්පූර්ණයෙන්ම තහනම් කර සිටියා.

එම නීතීය අනුව චීන කලාකරුවන් හට සිය ස්වාභාවික පෙනුම වෙනස් කරමින් අධික ලෙස ආලේපන භාවිතය තහනම් වූ අතර, ඊට අමතරව එරට රජය විසින් නිෂ්පාදක සමාගම් වෙත නිවේදනයක් යොමු කරමින් කියා සිටියේ එලෙස අධික ලෙස ආලේප භාවිතා කරන කලාකරුවන් සිය නිර්මාණ වලින් ඉවත් කර ගැනීමට කටයුතුකරන ලෙසයි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් එරට පාලන අධිකාරිය සඳහන් කොට තිබුණේ, කලාකරුවන් විසින්  ප්‍රේක්‍ෂකයින්ගේ පිළිගැනීම ලබා ගැනීම සඳහා තම ශක්තිය, රංගන කුසලතා සහ කලාත්මක සදාචාරය භාවිතා කළ යුතු බවයි.

 

 Lip Sync කිරීමත් තහනම් වෙයි

 

ලෝකේ කිසිම රටක දක්නට නොලැබෙන තරම් දැඩි වාරණයට ලක් වෙච්ච චීන කලාකරුවන් අතරින් ගායක ගායිකාවන් හට මුහුණ දීමට සිදුවූ බලවත්ම අපහසුතාවයක් වෙන්නේ එරට රජය විසින් තොල් සමමුහුර්ත කිරීම හෙවත් පටිගත කරන ලද දෙබස් හෝ ගීත කාණ්ඩ වලට අනුව දෙතොල් සෙලවීම තහනම් කිරීමයි. 

 

 පසුගිය වසරේ ගෙන ආ නව පනතක් මගින් මෙම නීතිය පැනවූ අතර එහිදි චීන රජය කියා සිටියේ  විනෝදාස්වාද වෙළෙඳපොළ හොඳින් කළමනාකරණය කරමින්,  විධිමත් සංවර්ධනයක් ලඟා කර ගැනීමට ඇති අරමුණ හේතුවෙන් එම නව නීතිය පැනවූ බව.

කෙසේ වෙතත් මෙම නව නීතිය නිසාවෙන් එරට ගායක ගායිකාවන් හට තව දුරටත් පෙර පටිගත කරන ලද ශබ්ද වලට අනුව වේදිකාව මත හිඳිමින් තොල් සෙලවීම සිදු කළ නොහැකි අතර ඊට අමතරව ශබ්ද පටිගත නොකොර දෙතොල් බොරුවට සොලවමින් විඩියෝ දර්ශනයන් ලබා ගෙන පසුව හඬකැවීම් සිදු කිරීමටද නොහැකි වනවා.

 

මෙහි බරපතම කාරණය වන්නේ යම් කිසි ගායක ගායිකාවක් හෝ රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් නීති කඩ කරමින්  තොල් සමමුහුර්ත කර ඇති බවට හඳුනාගත හොත් ඔවුන්ගේ නියෝජිත සමාගම් වල බලපත්‍රයන් අවලංගු කොට  ඒ පිළිබඳව ජනතාවට දැනුවත් කිරීමයි.

ඒ අනුව දෙතොල් සෙලවීමක් හේතුවෙන් කලාකරුවෙකුගේ  මුළු කලා ජීවිතයම වුවද විනාශයට පත් විය හැකියි.

 

නමුත් මෙහිදි යම් කිසි කලාකරුවෙකුට ශබ්ද විකාශන යන්ත්‍ර හෝ සජීවී ප්‍රසංග මඟින් ජීවිතයට බලපතල හානි සිදු වීමේ අවදානමක් පවතින්නේ නම් පමණක් තොල් සමමුහුර්ත කිරීමට එරට රජය විසින් අවසර ලබා දී ඇති අතර එහිදි ඔවුන් විසින් ඒ පිළිබඳව අදාළ ප්‍රසංගයට හෝ වැඩසටහනට පෙර ප්‍රේක්‍ෂකයින්ව  දැනුවත් කළ යුතුයි.  මෙම නියාමනය ප්‍රසිද්ධ ගායකයින්ට සහ නළුවන්ට පමණක් නොව ඔපෙරා සහ සංගීත ගායකයින්ට ද අදාළ වනවා.

කොහොම නමුත් එම නීතිය පිළිබඳව සඳහන් කර සිටි චීන  “සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය”  අවධාරණය කළේ, 

 

” මෙය සමාජවාදයේ මූලික සාරධර්ම උල්ලංඝනය කරන ක්‍රියාවන් කළමනාකරණය කිරීම සහ අධීක්‍ෂණය කිරීම සහ අපේ ජාතියේ ශ්‍රේෂ්ඨ සංස්කෘතික සම්ප්‍රදායන්ට හානි කරන ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීම සඳහා ගනු ලැබූ පියවරකි. මෙහි දක්වා ඇති  ප්‍රමිතීන්ට අනුකූලව  නළු නිළියන් සහ ගායක  ගායිකාවන් කටයුතු කළ යුතුය.”  

 

යනුවෙනුයි.

 

චීන රජය විසින් මෙවැනි අමුතු ආකාරයේ නියාමනයන් සිදු කිරීම ආරම්භ කොට මේ වන විට වසරක් පමණ ගත වන අතර,  එහිදි ඔවුන් විසින් ස්ත්‍රී පුරුෂ භාවය හා සංක්‍රාන්තික ලිංගිකත්වය වැනි අතිශය පෞද්ගලික කාරණා කෙරෙහි පවා අදාළ වන ලෙස, ඇතැම් නීති හා පනත් ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

 

චීනය වැනි රටකට තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රය හරහා ලෝකය හා සම්බන්ධකම් නිර්මාණය කර ගැනීම අතිශය පහසු කාරණාවක් වුවද, නමුත් මෙවැනි අත්භූත නියාමනයන් ගෙන එමින් ඔවුන් එම ඉඩ අහුරා ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා.

 

දකුණු කොරියාව ලෝකය හා මුසු වීමට විනෝදාස්වාද ක්ෂේත්‍රය උපරිම ලෙස ප්‍රයෝජනයට ගද්දි හීනය මැවැනි නීති හරහා එරට රැගෙන යන්නට උත්සාහ ගනු ලබන්නේ කුමන මාවතකදැයි යන්න තවමත් හරි හැටි නිශ්හිත ලෙස නිගමනය කළ නොහැකියි.

 

 

සටහන : newsmania වෙනුවෙන් අක්ෂි මාපා වීරසිංහ

මෙන්න බලන්න තවත් පුවත්