හීංබෝවිටියා (Osbeckia octandra)

ලංකාවටම ආවේණික වූ ශාක වර්ග අතරින් ගුණ රැසකින් සමන්විත හීන් බෝවිටියා ඉතාමත් වැදගත් ශාක වර්ගයක් ලෙස හඳුන්වා දිය හැකිය.

විශේෂයෙන්ම අක්මාවේ විස නසන ශාක වර්ගයක් ලෙස සැලකෙන මෙම ශාකය ඖෂධීය ගුණයෙන් ඉතාමත් ඉහළයි. ව්‍යංජනයක් ලෙසත් කැඳ වර්ගයක් ලෙසත් සකසා ඉතාමත් රසවත් ආහාරයක් ලෙස පිළියෙල කරගත හැකි මෙම ශාක වර්ගය පිළිබඳ වැදගත් කරුණු රැසක් අද ඔබට ලබා දීමට අප සූදානම්.

ඒක දේශික ශාකයක් ලෙස සැළකෙන හීන් බෝවිටියා අලංකාරවත් ලා දම් පැහැති පුෂ්පයකින් යුතු හොඳින් අතු බෙදී ගිය බහුවාර්ශික ශාකයකි. හීන් බෝවිටියා පත්‍ර කොළ කැඳ ලෙසත්, දළු හා ලපටි පත්‍ර සම්බෝල ලෙසත් ආහාරයට එක් කරගත හැකියි.

දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මෙය අක්මාවේ විෂ නාශනය කර අක්මාව ආරක්ෂා කිරීමේ හැකියාව ඇති ශාකයක් ලෙසට සළකයි. සෙංගමාලය, රුධිරයේ අධික මේදය පැවතීම, දියවැඩියාව, පිළිකා, ජ්වර, අර්ශස්, ජලෝදර වැනි රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා මෙන්ම ප්‍රතිශක්තිය වර්ධනයට ද භාවිතා කරයි.

1995 දී කරන ලද “Protective effects of Osbeckia octandra against galactosamine and tert-butyl hydroperoxide induced hepatocyte damage” යන පර්‍යේෂණ මඟින් මෙම ශාකයට අක්මාව ආරක්ෂා කිරීමට ඇති හැකියාව තහවුරු වී ඇත. 1995 වර්ෂයේ කරන ලද තවත් පරීක්ෂණයක් වන “Protective effects of Osbeckia octandra against paracetamol-induced liver injury” මඟින් පැරසිටමෝල් විෂ වීමෙන් අක්මාවට සිදුවන හානිය අවම කිරීමට මෙම ශාකය යොදා ගත හැකි බව පෙන්වා දී ඇත. එසේම 2021 වර්ෂයේ කරනු ලැබූ “Leaf Extract of Osbeckia octandra L. (Heen Bovitiya) Suppresses Human Oral Squamous Cell Carcinoma Cells Migration and Induces Cellular DNA Damage” හා 2022 හි පල වූ “Leaf extract of Osbeckia octandra induces apoptosis in oral squamous cell carcinoma cells” යන පර්යේෂණ මඟින් මෙම ශාක පත්‍ර යුෂ මුඛ පිළිකා වලදී ද ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන බවට තහවුරු කර ඇත.

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
සැකසුම – බිනාලි රාජපක්ෂ
ඡායාරූපය – ඔසුපැළ හඳුනා ගනිමු ෆේස්බුක් සමූහය

මෙන්න බලන්න තවත් පුවත්