එළැඹෙන මාසයේ සිට විදුලි සන්දේශ ගාස්තු ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණය නිසා පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනය කඩාවැටීමට ලක් විය හැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සදහන් කරයි8.

එලෙස අසාධාරණ ලෙස දුරකතන ගාස්තු ඉතා ඉහළ නැංවීමෙන් මාර්ගගත අධ්‍යාපනයේ යෙදෙන දරුවන් මෙන් ම ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන් ද දැඩි දුෂ්කරතාවට පත් වන බවත් දුරකතන බිල්පත් මෙන්ම ඉන්ටර්නෙට් ගාස්තු ද දරාගත නොහැකි ලෙස ඉහළ යන බවට ඔහු චෝදනා කරයි.

මීට පෙර පාසල් දරුවන් අතර පැවැතියේ 35%ක පමණ පරිගණක සාක්ෂරතාවක් වුව ත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනය ආරම්භ කළ පසු එම ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙන අතර
එවන් පසුබිමක් තිබියදී මේ අයුරින් දුරකතන හා ඉන්ටර්නෙට් ගාස්තු ඉහළ නැංවීම නිසා දරුවන් මාර්ගගත අධ්‍යාපන කටයුතුවලින් බැහැර වීමේ අවදානමක් ද මතු වන බව ඔහු කියා සිටී.

ජංගම දුරකතන, විද්‍යුත් උපාංගවල මිල ද සාපේක්ෂව ඉහළ ගොස් ඇති නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වන බවත් වත්මන් රජය ඔවුන්ගේ පැවැත්ම මිස වෙනත් කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකරන නිසා මේ අයුරින් වගකීම් විරහිත අයුරින් කටයුතු කරන්නේ යැයි ඔහු චෝදනා කළේය.

ඊට අමතරව පාසල් බස් රථ, වෑන් රථ ආදී ප්‍රවාහන ගාස්තු, සපත්තු කුට්ටම්, පොත් පත් ආදී ලිපි ද්‍රව්‍ය ගාස්තු ද දෙතුන් ගුණයක මිලකින් ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්