ජීවිතයේ අප එකිනෙකා අතර ඇතිවන බැඳීම් අතරින් පියකු සහ දියණිය අතර ඇති වන බැඳීම ඉතාමත් ආදරණීය බැඳීමක්. දියණියගේ මංගල දිනයේ දියණිය සිය පවුලෙන් වෙන්ව යාම තුළින් පියෙකු හට ඇතිවන ඒ හැගීම වචනෙන් කියා විස්තර කළ නොහැකියි.

ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ විශාල ප්‍රේක්ෂක ජනාදරයට පත් ගායන ශිල්පී නලින් පෙරේරාගේ දියණිය වන ස්වෙතාගේ විවාහය පසුගියදා සිදුවූවා.

දියණියගේ විවාහයේදී පියෙකු ලෙස ඔහුට දැනෙන දේ ඔහු මෙසේ විස්තර කළා.

මගේ දියණිය කියන්නේම මගේ හදවතෙන් කොටසක්. හදවතින් කෑල්ලක් ගියා වගෙයි තවමත් දැනෙන්නේ. නමුත් ඇයත් දවස ගාණේ වීඩියෝ කෝල් එකක් අරගෙන දුක සැප සොයා බලනවා. මටත් හැකියාව ලැබෙන හැම මොහොතකම ඇයත් සමඟ සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධය අපි මැරෙන තුරු නැති වන්නේ නැහැ. නමුත් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ. මොන තරම් ආදරණීය බැඳීම් තිබුණත් ඒ අයගේ ජීවිත ඒ අයට ආරම්භ කරන්න ඉඩ දෙන්න ඕනෑ. ලෝභයි තමයි. නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවන් දුක සැප වෙනුවෙන් හැමවිටම සිටිනවා. ඒ අයට තනියම ගොඩනැඟෙන්න ඉඩහරින්න ඕනෑ. මටත් බිරියටත් ප්‍රංශයට ගොස් ඇයව මුණගැසෙන්න පුළුවන්. ප්‍රසංගවලට සම්බන්ධ වන විටත් ඇයව හමුවෙන්න අවස්ථාව ලැබෙයි. ළඟ නැති එක දුකක් තමයි.

මගේ ජීවිතයේ ඇය කොතැනද ඉන්නේ කියන එක ඇයට පෙන්වන්න මට වුවමනා කළා. ඒ වගේම ඇයගේ අම්මා, මල්ලී ඇයගේ ජීවිතයේ සිටින තැන පෙන්වන්න තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඒ ගීතය අතිශයම අපේ පවුල වෙනුවෙන් නිර්මාණය කළ එකක්. මේ ගීතය අහපු ගොඩක් පියවරු මාත් සමඟ කතා කළා. ඔවුන්ට මේ ගීතයේ දැනුණු තැන් ගැන කිව්වා. ඉදිරි විවාහ මංගල්‍යවලත් මේ ගීතය ගායනා කරන්න කියලා ඉල්ලීම ලැබිලා තිබෙනවා. මේ ගීතයේ ඉදිරි පියවර ලෙස එය පොදු ගීතයක් ලෙස ගෙන එන්න සූදානමක් තිබෙනවා. කැලුම් ශ්‍රීමාල් මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. දියණියක් සිටින හැම තාත්තා කෙනෙක්ටම ඒ ගීතය විඳින්න පුළුවන් විධියට වෙනස් මුහුණුවරකින් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

මම හරි සංවේදී පියෙක්. මම දැනගෙන සිටියා කොහොමත් මට එදා ඒ ගීතය සජීවීව ගායනා කරන්න අමාරු තත්ත්වයක් එනවා කියලා. එයට පෙර සූදානමක් ලෙස මම ඒ ගීතය විවාහයට පෙර පටිගත කළා. විවාහය දිනයේ ඒ ගීතය වාදනය කරලා මමත් දුවත් එයට නර්තනය කළා. එය නර්තනයක්ම කියන්නත් බැහැ. ඒක අපිට අපි තුළ රැඳෙන්න ලැබුණු අවස්ථාවක්. ඒක මම, දුව, ඇයගේ අම්මා, මල්ලී සමඟ හැඟීම් බෙදාගත් මොහොතක්.

මම මේ නොවැම්බරයේ ඇය සිටින රටට යනවා. ඒ ගිය විට මම දන්නවා ඇය මාව අල්ලා ගනීවි ඔය දේවල්වලට. අපි වයසට ගියත් දරුවොත් සමඟ සතුටින් විනෝදයෙන් සිටින්න ඕනෑ.

කෙසේ වෙතත් පියෙකු සහ දියණියක අතර ඇති ඒ ආදරය මුළු මහත් ජීවිතය පුරාම නොවෙනස්ව පවතිනු නිසැකයි.

 

 

මෙන්න බලන්න තවත් පුවත්