උපත් පාලන කොපු කියන්නේ වර්තමාන ලෝකයට  කිසි සේත්ම අමුතු හෝ ආගන්තුක දෙයක් නොවේ. ලෝකයේ ජීවත් වන අති බහුතරයක් පිරිස ආරක්ෂිත ලිංගික හැසිරීමක් සඳහා මේ උපත් පාලන කොපු භාවිතයට ගනු ලබනවා, මීට කලකට පෙර පුරුෂ පාර්ශවයට පමණක් නිර්මාණය වී තිබුණු උපත් පාලන කොපු දැන් දැන් කාන්තාවන් උදෙසාද නිර්මාණය වන අතර ඊට අමතරව විවිධ සුවඳ හා රස  වර්ග වලින්ද තෝරා ගත හැකි වනවා.

 

කෙසේ නමුත් වර්තමාන ලෝකය තුළ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමට මෙන්ම ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වීම සඳහාද උපත් පාලන කොපු භාවිතා කළද,  ප්‍රජනන සෞඛ්‍ය බොහෝම ප්‍රාථමික මට්ටමේ පැවති ක්‍රිස්තු පූර්ව යුග වලත් උපත් පාලන කොපු භාවිතා කර ඇති බවට කිවහොත් ඔබ පුදුම වේවී.

 

නමුත් සත්‍ය එයයි, ඇතැම් ගුහා ලේඛන  වලින්  ක්‍රිස්තු පූර්ව 1000 කට පමණ ඈත අතීතයේ පටන් ඊජිප්තු ජාතිකයන් විසින් උපත් පාලන  කොපු භාවිතා කළ බවට තොරතුරු හමුවී තිබේ.

 

එමෙන්ම ප්‍රංශයේ වර්ෂ 2000 ක් පමණ පැරණි යැයි සැලකෙන Combarelles හි ලෙන් සිතුවම් වලද කොන්ඩම් භාවිතය දැක්වෙන සිතුවම් දැකගත හැකි අතර, එමෙන්ම ඉතිහාසය සාක්ෂි දරන්නේ රෝමානු සොල්දාදුවන් විසින් නිවසින් බැහැරව දිගු  කාලයක් යුධ කටයුතු වල නියැළෙද්දි ඔවුන් විසින් ලිංගක කාර්යයන්හිදි  බැටළු බඩවැල්වලින් සාදන ලද කොන්ඩම් භාවිතා කරන ලද බවයි.

 

ඒ කරුණු එසේ වෙද්දි මේ වන විට සාක්ෂි සාධක සහිතවම හමුවී ඇති පැරණිතම උපත් පාලන කොපුව හමුවී ඇත්තේ ස්වීඩනයේ ලුන්ඩ් ප්‍රදේශයෙන් වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1640 දී පමණ නිපදවා භාවිතා කරන ලද්දක් බවට විශ්වාස කෙරේ.

වසර 382 ක් පැරණි මෙම කොන්ඩමය නැවත නැවත භාවිතා කළ හැකි එකක් වන  අතර එය සමගම එහි හිමිකරුව සතුව තිබූ ලතින් භාෂාවෙන් ලියා ඇති  අත්පොතක් ද හමුවී ඇත.

 

මෙහි ඇති වඩාත්ම සිත් ගන්නා කරුණ වන්නේ එම අත්පොතෙහි රෝග වලින් වැළකීම සඳහා කොණ්ඩමය උණුසුම් කිරි වලින් සේදීම නිර්දේශ කර තිබීමයි. උපත් පාලන කොපුව යනු ගැබ්ගැනීම් වලක්වා ගැනීමේ මාර්ගයක් ලෙස පමණක් සලකා ඇති එම යුගය තුළ එකී අත්පොතට අනුව  ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග නැවැත්වීමට බැටළු හම් කොන්ඩම් ඵලදායී නොවේ.

 

එමෙන්ම එංගලන්තයේ බර්මින්හැම් අසල පිහිටි ඩඩ්ලි කාසල් හි සිදු කරන ලද කැණීම් වලදී පුරාවිද්‍යාඥයන් විසින් පෙර සඳහන් කළ උපත් පාලන කොපුවට  සමාන කාලයක  නිෂ්පාදනය කළ බවට සැලකිය හැකි තවත් උපත් පාලන කොපු කිහිපයක් සොයා ගෙන ඇති අතර, ඒවා සත්ව හා මත්ස්‍ය බඩවැල් වලින් සාදා ඇති බවට හඳුනා ගෙන ඇත.

 

කෙසේ නමුත් වසර දහස් ගණනක් පසු කරමින් පැමිණි උපත් පාලන කොපු අදටද එක සේ ප්‍රයෝජනයට ගැනෙන අතර, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික සංවර්ධනය නොවූ රටවල ඇතැම් පුද්ගලයන් මෙය අතිශය අසභ්‍ය දෙයක් හෝ ප්‍රසිද්ධියට පත් නොකළ යුතු දෙයක් ලෙස සැලකුවද, යම් හෙයකින් සමාජය තුළ මේ තරම්ට හෝ උපත් පාලන කොපු භාවිතයට නොගැනුනානම් සුලභ හා මාරාන්තික නොවන  මෙන්ම ඒඩ්ස් වැනි මාරාන්තික ලිංගාශ්‍රිත රෝග වල ව්‍යාප්තිය සුලභ වීමටත්, අනවශ්‍ය ගැබ් ගැනීම් හේතුවෙන් සමාජය මීට වඩා ව්‍යාකූල එකක් වීමටත් ඉඩ තිබුණි.

 

කෙසේ නමුත් ඉතිහාසය පිළිබඳව දැන ගත්තාක් මෙන්ම ආරක්ෂිත නොවන සෑම ලිංගික එක්වීමකදීම උපත් පාලන කොපුවක් භාවිතා කිරීම තුළින් ඔබේ මෙන්ම ඔබේ සහකරු හෝ සහකාරියගේද ආරක්ෂාව තහවුරු කර ගත හැකි වනු ඇත.

 

 

 

සටහන : newsmania වෙනුවෙන් අක්ෂි මාපා වීරසිංහ

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්