මේ දිනවල ටෙලි නිර්මාණ තුළින් නිරන්තරව ඇස ගැටෙනා චරිත අතරින් සුධීක්ෂා සමාධි බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගත් යොවුන් රංගන ශිල්පිනියක්.

රාජිනී, මීනු , දිවිතුරා වැනි ටෙලි නාට්‍යයන් හි දී විවිධ චරිතයන් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන ඇය ඇයටම ආවේනික වූ කොණ්ඩය නිසා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි.

කෙසේ වෙතත් චරිතයට අනුව කොණ්ඩා මෝස්තරය වෙනස් කිරීමට කැමති ඇය ඒ ගැන පුවත්පත් සාකච්ඡාවක දී දැක්වූයේ මෙවැනි අදහසක්.

මට ගොඩක්ම ඉල්ලුම තියෙන්නේ මගේ කොණ්ඩය නිසා. ඒ නිසා ගොඩක් අය කැමති නැහැ කොණ්ඩය වෙනස් කරනවට. හැබැයි චරිතවලට අනුකුලව මගේ කොණ්ඩය වෙනස් කර ගන්න මම සුදානම්. ඉදිරියට විකාශය වෙන්න තියෙනවා ඉරේෂ් ලොකු බණ්ඩාර අයියාගේම අලුත් නිර්මාණයක්. එහි මම ඉන්නේ කොණ්ඩ කරල් දෙකක් ගොතලා ගැමි චරිතයකට. ඒක මම මෑතක භාරගත්ත අභියෝගාත්මක චරිතයක් කිව්වොත් නිවැරදියි. මමත් බලන් ඉන්නේ ප්‍රේක්ෂකයින් කොයි විදියට මාව භාරගනිද කියලා. නමුත් සමාධි හැමදාම සමාධි විදියටම මගේ පවුලේ අයට, මගේ යාළුවන්ට සහ ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන්. මොකද මම කැමති සරලව ඉන්න. සැබෑ ජිවිතේ බාටා දෙකක් දාලා ඩෙනිමක් ටී ෂර්ට් එකක් ඇඳලා යන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ

ඒ වගේම තමයි මම මේ වෙද්දී සිනමාවට සම්බන්ධ වෙලා ඉන්නේ. එක නිර්මාණයක් අවසන් වෙමින් පවතිනවා. එය බොහෝ දුරට 2023 වසරේදී සිනමා රසිකයින්ට දැක ගන්න ලැබෙයි. ඒ නිර්මාණය තුළින් සිනමා ප්‍රේක්ෂකයින් මාව වැළඳ ගන්නා විදියත් එක්ක මගේ ඉදිරි සිනමා ගමන තීරණය වෙයි. මම කැමතියි සිනමාවට වැඩි කාලයක් වෙන් කරන්න. කොහොමත් සුධීක්ෂා සමාධි කියන්නේ ඉල්ලුමයි, වැඩයි තිබුණොත් මැරෙනකම්ම මේ කලාවේ නියැ‍ෙළන කෙනෙක්. ඒ තරමට මම කලාවට ආදරෙයි. ඉදිරි බලාපොරොත්තු ඉලක්ක අතරේ කවදා හරි හොඳ නිර්මාණයක් තුළින් ඇඟයීමක් ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.“

බොහෝ ටෙලි නිර්මාණවල පෙම්වතියක ලෙසින් චරිත වලට පණ පොවන ඇය ආදරය ගැන කිව්වේ මෙහෙමයි.

සැබෑ ජිවිතේ ගත්තම මම ඉතාම සංවේදී කෙනෙක්. ඉක්මනින්ම තරහ යන, ඉක්මනින්ම නිවෙන සහ ඉක්මනින්ම දුක හිතෙන චරිතයක්. ආදරේ ගැන කතා කළොත් දැන්නම් ආදරේ කියන වචනයට පවා බය කෙනෙක්. මොකද මගේ හිත ආදරේ නිසා රැවටිලා තියෙනවා. ආදරේ නිසා දුක් විඳලා තියෙනවා. ආදරේ බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා. ආයේ නම් කවදාවත් ආදරේ ඕනේ නැහැ කියලා මගේ හිත මම ම ගලක් කරගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා දැන් නම් ආදරේ ගැන තනි තීරණයක් ගන්න ලොකු බයක් තියෙන්නේ. මොකද මම ආදරේ කරපු කවුරුත් මාව හරි හැටි තේරුම් ගත්තේ නැහැ. මාව මතුපිටින් දකිනවට වඩා මගේ පෞද්ගලික ජිවිතේ ගොඩක් දේවල් මම දරා ගත්ත කෙනෙක්. ඒ නිසා මගේ දරාගැනීමේ ශක්තිය ගැනත් මම ආඩම්බරයි. ඒ නිසා ආදරේ ගැන ඉදිරියට මොකද වෙන්නේ බලමු. එතකම් අද දවසේ මම සරල සුන්දරව ජිවත් වෙනවා. මේ මොහොතේ මම ජිවත් වෙන්නේ මම කරන කලා නිර්මාණ තුළින් මම ලබන ප්‍රේක්ෂක ආදරය තුළ. ඒක තමයි දෙවියන් වහන්සේ මට දුන්නු එකම සතුට සහ සැනසීම.

ඉදිරියේදී හොඳ නිර්මාණයක් තුළින් ඇඟයීමක් ලබන්න බලාපොරොත්තුවෙන්  සිටිනා ඇයගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් අපි හදවතින්ම සුභ පතනවා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්