ස්ත්‍රී, පුරුෂ කිසිම බේදයක් නැතුව ලෝකයේ බොහෝ පුද්ගලයන් පොදුවේ මුහුණ දෙන ගැටළුවක් තමයි, “සම අකලට වයසට යෑම” මේක සමකය ආසන්නයේ ජීවත් වන අපි වගේ ඝර්ම කලාපීය රටවල් වල ජීවත් වෙන මිනිසුන්නට වගේම අධික සීතල දේශගුණයක් තියෙන රටවල් වල ජීවත් වන මිනිස්සුන්ටත් එකසේ බලපානවා.

 

අපි හිතනවා අපේ හම අකලට වියපත් වෙන එක, සරලම කිව්වොත් අපේ මූණ අතපය අපිට අපේ වයසට වැඩිය වේගෙන් වයසට යන එක වළක්වා ගන්න අති විශාල මුදලක් වැය කරලා රූපලාවන්‍ය සත්කාර කළ යුතුයි කියලා.

 

ඇත්තටම කිව්වොත් එහෙම නෑ, අපේ එදිනෙදා පුරුදු කීපයක් වෙනස් කරගත්තා නම් අපිට පුළුවන් කාලයක් ගියත් තරුණ පෙනුමට ඉන්න.

 

අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ අපේ තරුණ හම ආරක්ෂා කරන එදිනෙදා පුරුදු කීපයක් ගැන.

 

අනවශ්‍ය ලෙස ඉර එළියට නිරාවරණය වීමෙන් වළකින්න

 

විශේෂයෙන් අපි වගේ දැඩි හිරු රශ්මියක් සහිත රටවල් වල ජීවත් වෙන පුද්ගලයෝ විදියට අපිට අපි අකමැත්තෙන් වුණත් ඉර එළියට නිරාවරණ වෙන්න සිද්ද වෙනවා.

 

උදෑසන සෞම්‍ය හිරු එළිය අපේ හමට. හොඳ වුණත් දවල් වෙද්දි පානය තද ඉර එළිය අපිට කොහෙත්ම යහපත් ප්‍රතිඵැල ගෙනල්ලා දෙන්නේ නෑ, ඉර එළියට නිරාවරණය වීමෙන් සමට අධික ලෙස වියළි වීම  වගේම, අපේ සමේ අඳුරු ලප, පිළිස්සුම් ළකුණු ඇති වීම  සිදු වෙනවා. මෙහිදි අපිට පුළුවන් නම් ඉර එළියට නිරාවරණය වෙන හැම වෙලේම සැහැල්ලු සහ දිගු අත් සහිත කමිසයක්, කලිසමක්, පළල් දාර සහිත තොප්පියක් සහ UV ආරක්ෂාව සහිත අව් කණ්ණාඩි වැනි – හිරු ආරක්‍ෂාකාරී ඇඳුම් වලින් ආවරණය වෙන්න එය අපිට යහපත් ප්‍රතිඵල ගෙන දේවී.

 

 

ඒ වගේම ඉර එළියට නිරාවරණය වීමට පෙර sun protection lotion  එකක් එහෙමත් නැත්තම් හිරු එළියෙන් සිදුවන හානි වලින් ඔබව ආරක්ෂා කරන ආලේපයක් සමේ ගල්වන්න ඔබට පුළුවන් ඉර එළිය ඔබට ගෙන එන අහිතකර ප්‍රතිඵල වලින් මිදිලා සම ආරක්ෂා කර ගන්න.

 

සමේ පැහය වෙනස් කරන ආලේපන භාවිතයෙන් වළකින්න

 

ඔබ සුදු වීම සඳහා බ්ලීචිං නිෂ්පාදන අඩංගු ආලේපන හෝ දුඹුරු පැහැයක් ලබා ගැනීම සඳහා සම දුඹුරු පැහැ කරන නිෂ්පාදන අඩංගු අලේපන භාවිතා කරන කෙනෙක්ද?

 

 

කියන්න කණගාටුයි, එහෙනම් ඔබට සිද්ද වෙනවා නුදුරු අනාගතයේදීම සිදු වන ව්‍යසනයකට මුහුණ දෙන්න.

 

සමේ මෙලනින් වෙනස් කරන නිෂ්පාදන භාවිතා කිරීමෙන් ඔබේ සම අධික වේගයෙන් වයසට යනවා විතරක් නෙවෙයි, අධික වේගයෙන් විනාශයටත් පත් වෙනවා. සමහර විට එය ඔබට දරුණු චර්ම පිළිකා පවා ගෙන එන්න පුළුවන්.

 

එම නිසා හැකි තරමක් එවැනි නිෂ්පාදන වලින් වැළකිලා ඉන්න උත්සාහ කරන්න. 

 

ඒ වෙනුවට ස්වාභාවික ආලේපන හා ශරීර අභ්‍යන්තරයට ලබා දෙන පෝෂණය පිළිබඳව ඔබේ සැලකිල්ල යොමු කරන්න.

 

දුම්පානයෙන් වළකින්න

 

ඔබ දුම් පානය කරන කෙනෙක්ද, එහෙනම් ඔබේ සමේ මෙන්ම අභ්‍යන්ත පද්ධති වල සෞඛ්‍ය සඳහා ඔබට සිද්ධ වෙනවා ඒක නවත්වන්න, දුම්පානය සම  ඉක්මනින් වයසට යෑම වේගවත් කරනවා වගේම ඒක  රැලි සහ අඳුරු,  සමක් ඇති කිරීමට බලපානවා.

ඇස් යට කළු වීම, තොල් කළු වීම, කම්මුල් දෙපසේ සම වියපත් ලෙස දිස්වීමට බලපාන ප්‍රභලම හේතුවක් වෙන්නේ මේ දුම් පානය.

 

ඒකාකාරී ඉරියව් වලින් මිදෙන්න

 

ඔබ නිතරම මුහුණ ඒකාකාරි ඉරියව්වකින් තියාගෙන ඉන්න කෙනෙක්ද ? උදාහරණයක් විදියට ඔබ නිතරම නළල රැළි කරගෙන ඉන්න කෙනෙක් නම් කල් යද්දි ඔබේ නළලේ ස්තීර රැළි ඒම වැළැක්විය නොහැකියි.

ඒ  නිසා පුරුදු වෙන්න මුහුණේ ඉරියව් ඒකාකාරි ලෙස තබා නොගන්න. නිතරම වගේ මුහුණේ ඉරියව් වෙනස් කරන්න. පුරුද්දකට මුහුණ කට නහය අකුලගෙන ඉන්න කෙනෙක් නම් වුවමනවෙන්ම ඒ ඉරියව් වෙනස් කරන්න.

 

පෝෂණීය ආහාර වේලක් ලබා ගන්න

 

ආහාර අපේ සමට කරන බලපෑම පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණ සියල්ලගෙන්ම පාහේ හෙළිදරව් වී ඇති කරුණක් තියනවා, ඒ තමයි නැවුම් පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමෙන්  සම වයස්ගත වීම වන නමුත්  සීනි හෝ වෙනත් පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර වේලක් හේතුවෙන් ඔබේ සම වේගයෙන් වයසට යා හැකි බව.

ඒ හේතුවෙන් නිරන්තරයෙන් මතක තියාගන්න, කාබෝහඩ්‍රෙට් අවම වශයෙනුත්, එළවළු හ පළතුරු වැඩි වශයෙනුත් ආහාරයට ගන්න.

 

අඩුවෙන් මත්පැන් පානය කරන්න

 

අධික ඇල්කොහොල් සාන්ද්‍රනයකට පුළුවන් අපේ සම  රළු කරන්න වගේම  සම විජලනය කරන්නත්.

ඔබ පුරුද්දක් විදියට නිතරම වගේ මත්පැන් භාවිතා කරන කෙනෙක් නම් කියන්න කණගාටුයි මත්පැන් භාවිතය අවම වශයෙන් කරන හෝ සපුරා නොකරන පුද්ගලයින්ට සාපේක්ෂව   ඔබේ සමට සිදුවන හානිය වැඩි අතර,  ඒවා ඔබව ඉතාම ඉක්මනින් වස්ගත පෙනුමකුත් ලබා දෙනවා.  

 

පුරුද්දක් විදියට ව්‍යායාම කරන්න

 

 ව්‍යායාම මගින් රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර  සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවනවා . ඒ හේතුවෙන් ඔබේ සමට වඩාත් තරුණ පෙනුමක් ලැබෙන අතර, එය ඔබේ අභ්‍යන්තර සෞඛ්‍යට වගේම ඇඟේ හැඩයටත් බෙහෙවින්ම බලපානවා.

 

 

සම මෘදු ලෙස පිරිසිදු කරන්න

 

ඔබ නාන වෙලාවට, මූණ හෝදන වෙලාවට රළු විදිහට තදින් සම අතුල්ලන කෙනෙක්ද,  එහෙනම් ඔබට සිද්ද වෙනවා  ඒක වහාම නතර කරන්න, කොසු බ්‍රශ් වගේ දේවල් වලින් සම අතුල්ලන එක නවත්තලා ඒ වෙනුවට පිරිසිදු මෘදු රෙදි කෑල්ලක් භාවිතා කරන්න පුරුදු වෙන්න.

 

 

ඔබ දිගින් දිගටම සම රළු විදියට පිරිසිදු කළොත් කල් යද්දි ඔබේ සම එල්ලා වැටීමකට ලක් වෙන්න පුළුවන්.

 

හොඳින් වතුර බොන්න

 

වතුර තමයි ඔබේ සමට තිබෙන ඖෂධය, වතුරට පුළුවන් ඔබේ සම නිරෝගී කරන්න, මෘදු කරන්න වගේම පැහැපත් කරන්නත්.

 

 

පුරුද්දක් විදියට දවසට අවම වශයෙන් වතුර ලීටර්  3 ක් වත් පානය කරන්න, එය ඔබේ සමට නෙවෙයි ඔබේ මුළු ශරීරයටම බොහෝ ප්‍රතිඵලදායක වේවි.

 

රසායනික ද්‍රව්‍ය යෙදූ රූපලාවණ්‍ය නිෂ්පාදන වලින් ඈත් වෙන්න

 

විවිධාකාර නම් වලින් වෙළඳපොළට එන රාසයනික ද්‍රව්‍ය යෙදූ රූපලාවණ්‍ය ද්‍රව්‍ය වලින් හැකි තාක් ඈත්ව සිටීමෙන් ඔබට පුළුවන් ඔබේ සම ආරක්ෂා කරන්න.

ඔබට නොහැකි නම් නියම ප්‍රමිතියකින් යුක්ත  නිෂ්පාදන භාවිතා කිරීමට, හොඳම දේ සමට අහිතකර දේ ආලේපනයෙන් වැළකෙන එක.

 

සටහන : newsmania වෙනුවෙන් අක්ෂි මාපා වීරසිංහ

 

http://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්