ලාංකේය ගීත කලාවේ ගායන තරු අතරින් මවු – පිය උරුමයෙන් සංගීත කලා හැකියාව උරුම වූ ඔහු බොහෝ ප්‍රේක්ෂක හදවත් රැසක් ආකර්ෂණය කර ගායන ශිල්පියෙක්.

තාල තරංග (තබ්ලා) වාදන ශිල්පී මෙන්ම ජනප්‍රිය ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහගේත් සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේනයන්ගේත් පුත් වන ඔහු හර්ෂදේව ආරියසිංහ. නැසී ගිය ප්‍රවීණ සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ මුණුබුරෙකු වන ඔහුගේ හඩෙහි ඇති ඒ අපූරත්වය වචනයෙන් කියා නිම කල නොහැක.

හීන මකා, සැමරුම් සේනා, සංසාර ආලේ සහ ආයාසේ යන ඔහුගේම හඩින් ගායනා කල ඔහුගේම නිර්මාණයි.

වෘත්තියෙන් පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වුවද උරුමයෙන් ලද සංගීතමය හැකියාව සමග මේ වන විට එංගලන්තයේ සිට විවිධ සංගීත නිර්මාණයන් සිදුකරමින් සිටී.

මේ දිනවල ඔහු තවත් නිර්මාණ කිහිපයක් එළිදක්වීමට සූදානමින් සිටින බව පුවත්පත් සාකච්ඡාවක දී කියා සිටියා.

ඒ පිළිබද ඔහු පැවසුවේ මෙලෙසයි.

“මේ වෙද්දී නිර්මාණ දෙකක් ප්‍රති නිර්මාණය කළා. නමුත් මම කැමති වුණේ නැහැ තාත්තාගේ නිර්මාණ වලින් එළියට එන්න. මම වඩාත්ම කැමති මගේම ස්වතන්ත්‍ර නිර්මාණ තුළින් මටම අනන්‍යතාවක් නිර්මාණය කර ගන්න. ඒක සාර්ථක වුණා. මම මුලින්ම කළේ නොබලා මා දිහා කියන ගීතය. එය ජනප්‍රිය වුණා. රයිනි චාරුකා සහාය ගායිකාව ලෙස ගීතය ගැයුවා. ඊට පස්සේ හීන මකා, සැමරුම් සේනා, සංසාර ආලේ සහ ආයාසේ කියන මගේම ගීත නිර්මාණය කළා. කොහොමත් මට මගේම කියන රසික රසිකාවියන් එකතු වුණාට පස්සේ තමයි තාත්තාගේ ගීත දෙකක් ප්‍රති නිර්මාණය කළේ. ඒ ගීත දෙක “මා ළඟටම තව ළංවෙලා“ කියන ගීතය සහ “වලාකුළු පෙළින් බසින්න“ දුල්ශාරා ද අල්විස් සමඟ ගායනා කළා. ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. තාත්තගේ ජනප්‍රිය වුණු ගීත වගේම ජනප්‍රිය නොවුණු ඉතාම ලස්සන ගීත තියෙනවා. ඒවා නැවත ප්‍රති නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන්ම මගේ ස්වත්‍රන්ත නිර්මාණ ඉදිරියට එළිදක්වන්න තමයි හිතන් ඉන්නේ.“

“ඒ වගේම අලුත් නිර්මාණ තුනක් මේ වෙද්දී වැඩ අවසන් කරලා තියෙනවා. ලංකාවේ ඉන්න කාලේ වැඩ පටන් ගත්තට එංගලන්තයට ආවට පස්සේ තමයි ගීත තුනේම වැඩ කටයුතු අවසන් කළේ. ඉන් “සීතල දවසක“ ගීතය මේ මාසයේ එළිදක්වන්න නියමිතයි. එය ඉතාම ලස්සන ආදර ගීතයක්. මේ ගීතයේ විශේෂත්වය වෙන්නේ පද රචනය, සංගීතය, සංගීත අධ්‍යක්ෂණය, ගායනය මගේ. ඒවගේම එහි රූප රචනයටත් මම දායක වුණා. ඒක මට අලුත්ම අත්දැකීමක්. මේ ගීතයේ තාක්ෂණය අතින් ගත්තම ඉතාම දියුණු තැනක තියෙනවා. ඒ ගීතය එංගලන්තයට ඇවිත් කරපු පර්යේෂණ සාර්ථකවීම් හරහා කරපු නිර්මාණයක්. ලංකාවේ සාමාන්‍යය ගීත වලට වඩා වෙනසක් කරලා තියෙනවා. ඒ ඔස්සේ ලංකාවේ සංගීතය ඉහළට ඔසවා තබන්න මට පුළුවන් වුණා කියන විශ්වාසය මට තියෙනවා. පර්යේෂණ මට්ටමින් කළ මේ නිර්මාණයේ සංගීතය ඉගෙන ගන්න අයට ගන්න දෙයක් තියෙනවා. ඉතුරු ගීත දෙක ඉදිරි මාසය තුළ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.“

“මගේ ලොකුම ඉලක්කය තමයි එංගලන්තයේ වෙස්ටන් මියුසික් සමඟ මුසුවුණු ශ්‍රී ලාංකීය සංගීත නාද රටා සමඟ ගීත කිහිපයක් එළිදැක්වීම. ඒ කියන්නේ සිංහල සංගීතයට හෝ බටහිර සංගීතයට හානි නොකර අපි හැමෝටම අහන්න පුළුවන්, විඳින්න පුළුවන් ලස්සන ගීත කිහිපයක් නිර්මාණය කිරීම. සංගීතයට සීමා නැහැ. පුළුවන් තරම් පර්යේෂණ කරලා හිතන්න පුළුවන් උපරිමයෙන් හිතලා ලස්සන ගීත ටිකක් නිර්මාණය කරන්නයි මගේ අදහස. දෙවැනි එක මගේම ගීත ඇතුළත් සංගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම මේ දිනවල ඒ සඳහා සුදානම් වෙනවා.“

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්