දෛනිකව අප ආහාරයට ගන්නා එළවළු හා පළතුරු අතරින් දෙලුම් ඉතාමත් ගුණදායි පළතුරකි.

බැලූ බැල්මට ඇසට ප්‍රිය උපදවන වර්ණයකින් මෙන්ම ප්‍රසන්න සුවඳකින් යුක්ත දෙළුම් බෙරි විශේෂයක් ලෙස සැලකේ. අනෙකුත් පළතුරු මෙන් නොව දෙළුම් ගසේ මුල් කොල පොතු දලු ගෙඩි ඖෂධ ගුණයෙන් යුක්තයි. එබැවින් දෙළුම් පානය පංචාංග ඖෂධයක් බව සඳහන් කළ හැකි ය. දෙළුම් ගස Punica granatum යන විද්‍යාත්මක නමින් හදුන්වනූ ලබයි. මීටර් 5 – 8 දක්වා උසට වැඩෙන දෙළුම් ගසේ හොඳින් ඉදුණු දෙළුම් ගෙඩියක් දීප්තිමත්, දිලිසෙන සුලු රතු පැහැයක් ගනී.

එලෙස හොඳින් ඉදුණු දෙළුම් ඇට කෝප්පයක (ග්‍රෑම් 174 ක) පෝෂණ කොටස් පහත පරිදි වේ.

තන්තු : ග්‍රෑම් 7
ප්‍රෝටීන් : ග්‍රෑම් 3
විටමින් C : දෛනික අවශ්‍යතාවයෙන් 30%
විටමින් K : දෛනික අවශ්‍යතාවයෙන් 36%
ෆොලේට් : දෛනික අවශ්‍යතාවයෙන් 16%
පොටෑසියම් : දෛනික අවශ්‍යතාවයෙන් 12%
සීනි : ග්‍රෑම් 24
කැලරි : 144

අනෙකුත් පළතුරු හා සංසන්දනයේදී විටමින් C, K බහූලව අඩංගු නිසාවෙන් දෙළුම් ශරීරය ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට උපකාරී වන පලතුරක් ලෙස සඳහන් කල හැකි ය.

අනෙකුත් පලතුරු සමග සැසදීමේදී ප්‍රබල ශාක සංයෝගයන් දෙකක් වන පුනිකැලජින්ස් සහ පියුනිසාක් අම්ලවල දෙළුම් වල අන්තර්ගත වීම විශේෂත්වයකි. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන පුනිකැලජින්ස්, දෙළුම් යුෂවල සහ පොත්තේ බහුල වශයෙන් අඩංගු වන අතර එය කොතරම් ප්‍රබල ද කිවහොත් රතු වයින් හෝ හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක බව මෙන් තුන් ගුණයකින් යුක්ත බව සදහන් කළ හැකිය.

දෙළුම් ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි පලතුරක් වන අතර එය අර්ධ ශුෂ්ක ප්‍රදේශ ආශ්‍රිතව සුලභව වර්ධනය වේ . දෙළුම් නිවසකට වාසනාවක් ගෙන එන බව ගැමි ජනයාගේ මතයක් පවතී.

දෙළුම් ශාකයේ පත්‍ර කුඩාය. වසර පුරාම මල් හටගනී. මලක් පරාගනය වී මාස හතරකින් පමණ දෙළුම් ගෙඩි මේරීම සිදුවේ.

දෙළුම් ගෙඩියේ ඇටය ද එදා ගැමියෝ අත් බේතක් සේ සැලකූහ.

දෙළුම් ගෙඩියේ ඉස්ම මී පැණි සමඟ පානය කිරීමෙන් කෑම අරුචිය අජීර්ණය වමනය අතිසාරය උදරය වේදනාව පණු අමාරුව ඉතාම ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

දෙළුම්වල සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද?

නවීන විද්‍යානුකූල මතයට අනුව දෙළුම් ගසේ පොත්ත දිලීර හා බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්තය.

දෙළුම් කොළ තබා තම්බා ගත් වතුර මුඛයේ විෂබීජ සඳහා ඉතාමත් ගුණදායි වන අතර දෙළුම් ගසේ පොතු සහ මුල් තම්බා ගත් වතුර විසබීජ නාශකයක් නිසා තුවාල සේදීමට වඩාත් සුදුසු වේ.

ඇස් රෝග සඳහා දෙළුම් කොළ තම්බා ගත් වතුරෙන් ඇස් සේදීම බොහෝ දෙනෙක් අද පවා සිදුකරයි.

පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන් ම බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහි ව දෙළුම් යොදා ගත හැකි බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. ඒ අනුව පිළිකා සෛල වර්ධනය වන වේගය අඩාළ කිරීමේ හැකියාව දෙළුම් සතු වේ.

සෑම දිනකම දෙළුම් යුෂ පානය කිරීමෙන් ඉගෙනීම සහ මතකය වැඩි දියුණු කළ හැකි බව ඉපැරණි අධ්‍යයන මගින් හෙලි වී තිබේ.

එමෙන්ම දිනෙකට දෙළුම් යුෂ අවුන්ස 5 බැවින් සති 2 ක් පානය කිරීම මගින් ඖෂධ භාවිතයකින් තොරව අධි රුධිර පීඩනය අවම කර ගත හැකිය.

 දියවැඩියා රෝගීන්ට ගර්භණි මව්වරුන්ට හා කුඩා දරුවන්ට දෙළුම් ඉතාමත් ගුණදායි වේ.

දෙළුම්වල අඩංගු වන ශාක සංයෝග මගින් සන්ධිප්‍රදාහය සමග පැමිණෙන දැවිල්ල අවම කිරීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙයි.

තවද දෙළුම් වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් සරු බව ආරක්ෂා කිරීමට උපකාරී වේ. දෙළුම් යුෂ පානය කිරීමෙන් ශුක්‍රාණු වල ගුණාත්මක භාවය සහ චලනය වැඩි විය හැකි බව පර්යේණ මගින් සොයාගෙන ඇත.

 පුද්ගලයෙකු පරිභෝජනය කරන දෙළුම් යුෂ ප්‍රමාණය වැඩි කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන එය තමන් ගන්නා ඖෂධවලට බාධාවක් නොවන බවට වග බලා ගැනීම වඩාත් සුදුසු බව මතක තබා ගන්න.

වෙළඳපොලේ තුළ දෙළුම් සදහා අද ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. ඒ අන් කිසිවක් නිසා නොව රසය ගුණය මේ සියල්ලම තරුණ බාල මහලු කොයි කාටත් ගුණදායී වන හෙයිනි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්