සම්බන්ධකම් ඇතිවීම නැතිවීම බොහෝම සුලභ දෙයකි, ඇතමුන් එක් සම්බන්ධයක් බිඳීමෙන් අනතුරුව පහසුවෙන්ම තවත් සම්බන්ධයක් කරා යොමු වන අතර තවත් අයෙක් එකම සම්බන්ධයක් මතම සිටිමින් එය බිඳී ගියද පරණ මතක මතක මත්තේ ජීවත් වෙයි.

 

සම්බන්ධකම් බිඳී යෑම් හමුවේ පුද්ගලයන් විසින් දක්වන ප්‍රතිචාර එකිනෙකාට ආවේණික වුවද, පෙර කී පරිදි පැරණි මතක මත්තේ සිටිමින් පරම පිවිතුරු ප්‍රේමවන්තියගේ හෝ ප්‍රේමවන්තයාගේ චරිතය රඟ දැක්වීම ඇතැම් විට එතරම් සුබදායක නොවන්නේ අතීත ස්මරණ තුළ ජීවත් වීම හරහා අනාගතයට යන බොහෝ මාර්ග අවහිර වන බැවිනුයි.

 

එබැවින් අද ලිපිය හරහා අපි ඔබට ගෙන එන්නේ පැරණි සම්බන්ධකම් වල අතීත නටඹුන් අතරින් ඉවත්ව ජීවිතයේ අලුත් මාර්ගයන් සොයා ගෙන යෑමට ඔබට උදව් වන ආකාරයේ කරුණු කිහිපයකි.

 

මතක මකා දමන්න 

 

රුවනි නව යොවුන් වියේ පසුවන තරුණියකි, උසස් පෙළ ජීව විද්‍යා පන්තියේදි ඇතිවූ පෙම් සම්බධතාවය ඇගේ පළමු ප්‍රේමණීය අත්දැකීම වූ නමුත් එයට ආයුශ පවතින්නේ මාස 7 ක් වැනි ඉතාමත් කෙටි කාලයක් පමණයි.

 

ඇගේ පෙම්වතා විසින් ඔවුන් අතර පැවති සම්බන්ධයට නැවතීමේ තිත තබන්නේ උසස් අධ්‍යාපන සඳහා විදෙස් ගත වීමත් සමග වුවද, තව මාස කිහිපයකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින රුවනි විභාගය අමතක කර දමා ප්‍රේම වියෝවේ ගිලී සිටියේ, ඔහු විසින් දෙන ලද තෑගි, එවූ කෙටි පණිවිඩ, දෙදෙනා එක්ව ගත් ඡායාරූප වැනි දේ ළඟ තබා ගනිමින් වරින් වර ඒවා දෙස බලමිනුයි.

කුමක් හෝ වාසනාවකට රුවනිගේ දෙමව්පියන් නූතන සමාජය පිළිබඳව අවබෝධය සහිත බුද්ධිමත් පුද්ගලයන් වීම නිසාම ඇයගේ තත්වය හරි හැටි අඳුන ගත් අතර, ඇගේ පියා විසින් එක් අවස්ථාවකදි ඇගේ දුරකථනයේ දත්ත සියල්ල මකා දැමුවේ, එහි ගබඩා වී තිබූ පැරණි මතක දෙස බලමින් තම දුව දුක් වීම නොරිස්සූ නිසාමයි.

 

මෙම මතකයන් අහිමි වීමත් සමග රුවනි හට තව දුරටත් බල බලා වැළපෙන්නට ඡායාරූප හෝ කෙටි පණිවිඩ නොතිබුණු අතර, පාසල, අමතර පංති සමග දින ගෙවා අවසානයේ නිවසට ආ තැන මතක මැකුණු දුරකථයේ බැලීමට තරම් දෙයක් නොමැති වීමත් සමග ඇගේ හැඬීමද ක්‍රමානුකූලව අඩුව ගියාය.

 

ඒත් සමගව ක්‍රමයෙන් රුවිනිගේ වේදනවන් අලුත්  වීම අඩුව ගිය අතර, පළමු වර නොහැකි වුවද දෙවන උත්සාහයෙන් ඇයට විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීමට හැකි විය.

 

හේතු සොයන්න එපා

 

කනිශ්කගේ පෙම්වතිය නමින් මධුභාෂණී නම් වූ අතර, ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට අවුරුදු 4 ක් පිරී තිබුණි. කනිශ්ක සිය පෙම්වතිය ඇසුරු කළේ විවාහ වන බලාපොරොත්තුවෙන් වුවද, එවැනි අදහස් නොතිබූ මධුභාෂණී දෙදෙනාගේ නොගැළපීම් හමුවේ කනිශ්කගෙන් වෙන්වී ගියේ, ඔහුට සම්බන්ධය තව දුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍යව තිබියදීමයි.

 

කෙසේ නමුත් මධුභාෂණීය සමබන්ධයෙන් අනාගත හීන රාශියක් තිබුණු කනිශ්ක සම්බන්ධය අතහැරුණු පසුවද ඇය හට  දුරකථන ඇමතුම් දෙමින් වරින් වර ඇය සොයා යමින් සම්බන්ධය නතර කිරීමට හේතු විමසා සිටි අතර, ඔහුගේ කරදරය හමුවේ මධුභාෂණී ඔහුව තව තවත් ප්‍රතික්ශේප කළ අතර කිසි සේත්ම හේතු පහදන්නට ඉදිරිපත් නොවුනාය.

කෙසේ නමුත් පසුව කනිශ්කගේ බලපෑම මත ඔහුගේ මිතුරෙකු විසින් මධුභාධණීගෙන් සම්බන්ධය බිඳි යාමට හේතුව විමසා සිටි අතර, ඇය විසින් පිළිතුරු ලෙස ඔවුන් අතර තිබූ නොගැළපීම් සඳහන් කර තිබුණි.

 

කෙසේ නමුත් එම පිළිතුරද කනිශ්කට  කෙරෙහි සහනයක් ලබා දෙන වර්ගයේ ඒවා නොවුනු අතර, අවසානයේ ප්‍රේම වියෝවේ ගිලි සිටින කනිශ්ක අතින් රැකියාවේ සිදුවන අඩුපාඩු හමුවේ ඔහුගේ රැකියාවද අවධානමට වැටෙද්දි මිතුරන් එක්ව ඔහුව උපදේශනයට යොමු කර තිබුණි.

 

එහිදි සුදුසුකම් ලත් උපදේශකවරයෙක් විසින් ඔහුට නිසි උපදෙස් ලබා දී , පවතින ත්ත්වයට මුහුණ දීම සඳහා ඔහුගේ සිත ශක්තිමත් කර තිබූ අතර, අදාළ උපදේශකවරයා විසින් කනිශ්ක හට අවධාරණය කොට කියා තිබුණේ, බිඳී ගිය සම්බන්ධතාවන්හි හේතු සේවීමට යෑම තේරුමක් නැති ක්‍රියාවක් වන බවයි.

 

පසු කාලිනව ඇතිවූ වෙනත් සම්බන්ධයක් මත විවාහ වී දරුවන් දෙදෙනෙක්ගේ පියෙක් බවට පත්වූ කනිශ්ක දැන් ආයතයේ ප්‍රධාන තනතුරක් දරන වැදගත් පුද්ගලයෙකි.

 

වෙලාව අරගෙන අඬන්න

 

ප්‍රේම සම්බන්ධය බිඳී යෑමත් සම්ග මිතුරියන්ගේ අනුකම්පාවට භාජනය වූ අනුපමා හඬන සෑම විටම ඇගේ මිතුරියන් විසින් “අඬන්න එපා” කියමින් වැළක්වූ අතර, අවසානයේ තම දුක පිට කර ගැනීමට නොහැකි වූ තැන ඇයගේ මානසික තත්වය පවා කඩා වැටෙන්නට විය.

 

ඒ සමගම පිටකර ගත නොහැකි වේදනාව තරහවක් ලෙසින් පිට වීමට පටන් ගත් අතර, ඇයගේ වෙනස වටහා ගත් ඇගේ සොහොයුරිය විසින් ඇයගෙන් බිඳුණු සම්බන්ධය පිළිබඳව විමසා දුක අවසන් වන තුරු නිදහසේ හඬන්නට අවස්ථාවක් ලබා දුන්නාය.

පසුව ඇගේ සොයුරිය විසින් ඇයට තේරුම් කර දුන්නේ ඕනෑම වේදනාවක් පිට කිරීමට නොහැකිව තමා තුළම තබා ගැනීම හේතුවෙන් එය තව දුරටත් ක්‍රමයෙන් වර්ධනය වී තම එදිනෙදා කටයුතු වලට බාධා පමුණවන බවයි.

 

අලුතෙන් පටන් ගන්න

 

ජීවිතය තුළ අපිට සිදුවන ඕනෑම දුක්බර සිදුවීමක් තුළින් පහසුවෙන් ගොඩ ඒමට හැකි මාර්ගයක් වන්නේ අලුත් යමක් හා මුහු වීමයි.

 

එය ඇතැම් විට අලුත් රැකියාවක්, අලුත් කොණ්ඩ මෝස්තරයක්, අලුත් ඇඳුමක්, සවාරියක්, එහෙමත් නැත්තම් අලුත් විනෝදාංශයක් විය හැකියි.

 

මාධවි සිව් වසරක විවාහයට සමු දුන්නේ ඇයගේ සැමියාගේ අනියම් සම්බන්ධයක් හේතුවෙන් වෙන අතර, විවාහ ජීවිතය තුළ ලැබුණු කටුක ඇත්දැකීම් මෙන්ම තනිකමද ඇයව වේදනාවෙන් පිරවීමට සමත් වූ කාරණයක් වූවා. මේත් සමගම දැනුනු පීඩාව ඇගේ ශරීරයෙන් පවා පෙනෙන්නට පටන් ගත් අතර, ඇය සෑම විටම මළානික රෝගී බවකින් දිස් වූවා.

 

කෙසේ නමුත් එක් අවස්ථාවකදි ඇයට ඇගේ මිතුරියක් විසින් ඉන්දියානු චිත්‍රපට සඳහා ඇති සමාජ මාධ්‍ය ගිණුමකට ඇරයුම් කර තිබූ අතර, එතැන් පටන් ඇයට පාලු දැනෙන හැම අවස්ථාවකම ඇය චිත්‍රපටියක් බැලීමට හුරු වූවා.

 

ඊටත් අමතරව කල් යද්දි කොරියානු නාට්‍ය බැලීමට පුරුදු වූ ඇය තුළින් පෙර පැවති දුක්බර රෝගී විලාශය පහව ගිය අතර, කල් යත්ම ඇය විනෝදයට බර බොහොම සැහැල්ලු චරිතයක් බවට පත් වෙන්නට පටන් ගත්තා, කෙසේ හෝ තමන්ගේ දුක අමතක කරන්න අලුත් විනෝදාංශයක් හොයා ගත්ත මාධවී දැන් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන එක් දරු මවක්.

 

ඔබ ගැන හිතන්න පටන් ගන්න

 

අමාලි සිය දෙවන ප්‍රේම සම්බන්ධය බිඳි ගියාට පස්සේ සමාජයට මූණ දීමට බිය වූ අතර, එයට හේතුව වූයේ ඇයගේ ප්‍රේම සම්බන්ධය මිතුරන් අතර ඉතාමත් ජනප්‍රිය වූ එකක් වීමයි.

 

මේත් සමගම ඇතිවූ අධික මානසික පීඩනය ඇයව කිලෝ 12 කින් වර්ධනය කර තරබාරු කර තිබුණු අතර,වරෙක රැකියා ප්‍රධානියාගේ උපදෙස් මත ඇය සුම්බා ව්‍යායාම සඳහා යොමු වෙනවා, දිනපතා උදෑසන පැය භාගයක් හා සවස් කාලයේ පැයක් සුම්බා නර්ථනයන්හි යෙදෙන අමාලිට දින කීපයක් යෑමත් සමග ශරීරයට යහපත් වෙනසක් දැනෙන්නට පටන් ගත් අතර ඇය තව දුරටත් සමාජයෙන් ඈත් වී වියෝවේ ගිලී සිටීම වෙනුවට තමන් ගැන සිතීම ආරම්භ කරනවා.

 

 

ඒ සමගම, රූපලාවණ්‍යාගාරයකට ගොස් ඇහි බැමි සදාගැනීම, ෆේශල් එකක් කර ගැනීම මෙන්ම මෙනිකියු පෙඩිකියු සඳහාද යොමු වන අමාලි තමන්ගේ රූපය දිහා සැලකිල්ලෙන් ආදරෙන් බලන්න පටන් ගන්නවා.

 

ඇගේ පැරණි සම්බන්ධය අමතකව යන මිතුරන්ගේ අලුත් මාතෘකාව බවට පත් වෙන්නේ අමාලිගේ ලස්සන, ඇය එන්න එන්නම ලස්සන වෙන එක ඇගේ මිතුරන් අතර නිරන්තරයෙන් කතා බහට ලක් වෙනවා.

 

දැන් අමාලි පරණ කුණු ඉවත දාපු තමාටම ආදරය කරන ශක්තිමත් පෞරුෂයක් තියන යුවතියක්, ඇගේ ගමන නවත්තන්න පෙම් සමබන්ධකමට බෑ.

 

 

 

සටහන : අක්ෂි මාපා වීරසිංහ

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්