වර්තමාන සංගීත ක්ෂේත්‍රය තුළ ගායනයට දස්කම් ඇති නව ගීත නිර්මාණකරුවන් බොහෝමයි.

ඒ අතරෙන් කලා පරපුරකින් පැවත එන ඔහු ගායනයට පමණක් නොව රංගනයටත් නිවේදනයටත් එකසේ දස්කම් ඇති සුවිශේෂී චරිතයක්.

එසේනම් අද THE TALKS සමගින් එකතු වෙන ඔහු නමින් ගයාන් ගුණවර්ධනයි.මේ කතා බහ ඔහු සමගයි.

කොහොමද ඉතින් ජීවිතේ

ජීවිතයේ ඉතින් ගෙවීගෙන යනවා. මගේ උපන්දිනේ තිබුණා අගෝස්තු 14 වෙනිදා .උපන්දිනය ලොකුවට සැමරුවේ නැති වුණත් මගේ යහළුවන් හැමෝම surprises, parties වගයක් සුදානම් කරලා තිබුණා.

ඒත් එක්කම මේ දවස් වල RAWDS  සංගීත කණ්ඩායමේ වැඩ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.

මේ දවස් ටිකේ මගේ සංගීත කණ්ඩායමක් එක්ක ප්‍රසංග වේදිකා වල, weddings , උත්සව අවස්ථාවලට සහභාගී වෙමින් මම ගායන ශිල්පියෙක් විදිහටත් ටෙලි නාට්‍යවලට රංගන ශිල්පිනියක් විදියටත් music spot වැඩ සටහනේ නිවේදන ශිල්පියෙක් විදියටත් වගේම මගේම ශබ්දාගාරයේ පටිගත කිරීම් , සංගීත පන්ති මේ හැම වැඩ කටයුත්තක්ම සමගින් මම කාලය ගත කරනවා.

ඔබ රංගනය, නිවේදනය හා ගායනය යන අංශ තුනෙන්ම ඉතාම ජනප්‍රිය කලාශිල්පියෙක්. කොතනින්ද මේ ගමන ආරම්භ වුණේ,

මගේ කලා ගමන් මඟ ආරම්භ වුනේ කුඩා කාලයේ ඉඳලමයි.

මගේ පියා ගායනා කරපු ගීත වගේම චිත්‍රපට ගීත බලන්න ගිහින් කලාවත් එක්ක ගොඩක් ආදරෙන් කාලය ගතකළා. ගායන ශිල්පියෙක් විදියට නිර්මාණකරුවෙක් වෙන්න ලැබුණේ පාසල් කාලයේ දී. 2008 දී මගේ හොඳම මිතුරෙකු වන රදීෂ් වැන්දබෝනා සමග මම ගීතයක් නිර්මාණය කළා. ඊට පස්සේ TV1 නාලිකාවේ නිවේදන කටයුතු, හිතුවක්කාරයා ටෙලි නාට්‍යයේ රංගන කටයුතුත් මේ හැම දෙයක් ම සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ විදිහට තමයි මගේ කලා ගමන් මඟ ආරම්භ වුණේ.

කලාවක් විදියට ඔබ වඩාත් ම කැමති සංගීතයටද රංගන ක්ෂේත්‍රයටද?

ඇත්තටම මම කැමති නිර්මාණකරුවෙක් වෙලා කලා ක්ෂේත්‍රයේ වෙනුවෙන්ම මගේ උපරිමය කරන්න .
එක දෙයකට කියලා එහෙම විශේෂ කැමැත්තක් නැහැ. මම හැමදේකටම කැමතියි. හැමදේකටම ආදරෙයි. රසිකයා පිනවන්න කලාකරුවෙක් නිර්මාණකරුවෙක් විදියට හැම ක්ෂේත්‍රයකම මට කරන්න පුළුවන් උපරිම දෙය මම කරනවා.

මෙතෙක් ආ ගමන් මග තුළ අමතක නොවන අත්දැකීම් එහෙම තියෙනවද?

ඔව්, සෑහෙන්න අත්දැකීම් ප්‍රමාණයක් තියනවා.
2008 ඉඳලා තමයි මම සංගීතය කරලා ගායන ශිල්පියෙක් විදියට ඉදිරියට එන්න උත්සහ කරන්නේ. ඒත් එක්ක සෑහෙන සිදුවීම් ප්‍රමාණයකට එකට මම මුහුණ දීලා තියනවා. හිත් කැඩීම්, හිත් බිදීම් වගේම මගේ නිර්මාණ රිජෙක්ට් වෙලා තියෙනවා.ඒ නිර්මාණ වල තියෙන අඩුපාඩු නිසා නෙමෙයි. බොහෝ අය කියනවා ගායන ශිල්පියෙක් ගේ පුතෙක් නිසා හරිම ලේසි ක්ෂේත්‍රයට එන්න කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. තමන්ට හැකියාව දක්ෂතාවය වාසනාව නිහතමානිකම තියෙනවා නම් මේ ක්ෂේත්‍රයේ සාර්ථකව රැදී සිටින්න හැකියාව තියෙනවා. මමත් සෑහෙන දුෂ්කර ගමනක් ඇවිල්ලා තමයි අද මෙතැනට ආවේ. ඒ කොහොම උනත් මේ හැම දෙයක්ම විද දරාගෙන අද වෙනකොට මම සතුටින් ඉන්නවා.

වර්තමානයේ ලංකාව තුළ බිහි වෙලා තියෙන ගීත ගැන මොකද හිතෙන්නේ,

එය ගැන කතා කරනවා නම්, ඇත්තටම හොඳ ගීත වර්තමානයේ දී නිර්මාණය වෙනවා. කිසි දෙයක් අඩු පාඩුයි කියන්න බැහැ. හැබැයි ඉඳලා හිටලා ඇහෙන ගීත තියෙනවා අර්ථවත් නැති ගීත .නමුත් සාපේක්ෂව බලද්දී වර්තමානයේ ගීත තුළ හඬ, විවිධ සංගීත රටාවන්, තරගකාරීත්වය, හොඳ මට්ටමක තියෙනවා.

ඔබේ සංගීත කණ්ඩායම ගැනත් කතා කරමු.

ඒ ගැන කියනවා නම් ඇත්තටම මගේ සංගීත කණ්ඩායමේ අපි හතර දෙනාගේ හමුවීම අහම්බයක්. පළමුවෙන්ම සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕනේ. මොකද එතුමා තමයි මේ සංගීත කණ්ඩායමේ හරි නිර්මාතෘ. එතුමා පාර දිගේ ටෙලි නාට්‍යයට සංගීත කණ්ඩායම අවශ්‍යයි කියලා නාට්‍යයේ රඟපාන නළුවෝ තුන්දෙනෙක්ම තෝරගන්නවා. ඒ මමයි ඉඳුවර සූරියබණ්ඩාර සහ සචින් චතුරංග කියන අපි තුන්දෙනාව. නාට්‍යයෙන් හම්බ වෙලා අද වෙනකොට පුදුමාකාර සහෝදර බැඳීමකින් සහෝදරයෝ තුන්දෙනෙක් බවට පත් වෙලා නාට්‍යයේ වගේම ඇත්ත ජීවිතේ සංගීත කණ්ඩායමකුත් පවත්වාගෙන යනවා.

ඉතින් කොහොමහරි RAWDS සංගීත කණ්ඩායමක් නාට්‍යයෙන් එලියට ගමු කියල අපි තුන්දෙනා තීරණය අරගෙන ඇත්ත ජීවිතේ අපේ බෑන්ඩ් එකේ නමක් දාන්න යනකොට සද්ධාමංගල සූරියබණ්ඩාර යෝජනා කළා RAWDS  කියලා නම තියන්න කියලා. මම හිතන්නේ ටෙලි නාට්‍යයකින් සංගීත කණ්ඩායමක් බිහි වූ පළමු අවස්ථාව මේක කියලා.

2021 නොවැම්බර් වගේ වෙද්දී තවත් සාමාජිකයන් කිහිප දෙනෙක් එකතු කරගෙන RAWDS සංගීත කණ්ඩායම නමින් අපේ සංගීත කණ්ඩායම ආරම්භ කළා.

මේ වෙනකොට තවත් සංගීත ශිල්පීන් කිහිප දෙනෙක් එකතු කරගෙන අපේ බෑන්ඩ් එක වැඩ කටයුතු පවත්වාගෙන යනවා. weddings ප්‍රසංග වලට එහෙම ගියාම හැමෝම කියන්නේ පාරදිගේ නාට්‍ය වල ඉන්න චරිත වල තියෙන නිහතමානි කම අහිංසකකම ඔයාලා අතර තියනවා කියලා. ඉතින් ඉතාමත් හොඳ ප්‍රතිචාර අපේ බෑන්ඩ් එකට තියෙනවා.

ඉදිරියට අපේම නිර්මාණ කරන්න අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

බෑන්ඩ් එකේ සාමාජිකයන්ගේ නම් කිහිපයක් නම් සඳහන් කළොත් ගයන් ගුණවර්ධන, සචින් චතුරංග , ඉදුවර සූරියබණ්ඩාර, යෙහාම් ශෙහාර, මනුජ ප්‍රනාන්දු, දශින් මෙන්ඩිස්, ශම්මික ගීෂාන්, සෙව්නෙත් පීරිස්.

විවාහය ගැන තාම අදහසක් නැද්ද?

ඇත්තටම, විවාහය වෙන්න කලින් මගේ වැඩකටයුතු නිර්මාණ කටයුතු සහ මගේ වගකීම් කිහිපයක් තියෙනවා මට ඉෂ්ට කරගන්න.

එතනදි මගේ පියා, මව, සහෝදරිය පෙම්වතිය හෝ බිරිඳ වගකීම,මගේ නිර්මාණ, ව්‍යාපාර, මගේ සංගීත කණ්ඩායමේ ළමයි හත්දෙනාගේ වගකීම ඒ හැම යුතුකමක්ම වගකීමක් ම ඉෂ්ට කරලා මගේ අඩුපාඩු හදගෙන විවාහයට කලින් මම සම්පූර්ණ විය යුතුයි කියලා මම හිතනවා.

විශේෂයෙන්ම මතක් කළ යුතු අය

විශේෂ කාරණාවක් මම මෙතනදි කියන්න කැමතියි. බොහෝ අය කියනවා මම ඉන්නේ තාත්තා හින්ද ,මට තාත්ත නැත්තම් වැඩක් කරගන්න බැහැ කියලා. මේක මට විතරක් නෙමෙයි කල් මම වගේ කලා පවුල්වලින් මේ ක්ෂේත්‍රයට ආපු තවත් කලා ශිල්පීන්ටත් මේ කියමන බොහෝ අයගෙන් නිතරම අහන්න ලැබෙනවා.

මෙතනදී සමහරක් වෙලාවට තාත්ත කලා ශිල්පියෙක් උනාට පුතා ක්‍රිකට් වගේ ක්ෂේත්‍ර වලට දක්ෂකම් තියෙන අයත් ඉන්නවා.

ඉතින් මම හැමෝටම කියන්නේ එහෙම කියන්න එපා. මගේ තාත්තා ගායන ශිල්පියෙක් පමණක් වුණාට මම රංගනය නිවේදනය මේ හැම ක්ෂේත්‍රකම වගේම කටයුතු කරනවා. තාත්තා ගායන ශිල්පියෙක් වුණත් තාත්තා කිසිම නාලිකාවකට මාව තල්ලු කළේ නැහැ. මේ හැමදෙයක්ම මගේ උත්සාහයෙන් මම තනියම ලබා ගත්ත දේවල්.

තාත්තා හැම වෙලේම මට කියන්නේ මට අනුන්ගේ ගීත ගායනා කරන්න එපා තාත්තාගේ ගීත ගායනා කරන්න කියලා.

මගේ පවුලේ හැමෝම වගේ ම ස්තුතිවන්ත වෙන්න තවත් කිහිප දෙනෙක් ඉන්නවා.

බුද්ධික වික්‍රමාදර මහතා තමයි TV1 නාලිකාවේ හිටපු ප්‍රධානියා. ඔහු තමයි මාව TV1 නාලිකාවට කතා කරලා නිවේදන ශිල්පියෙක් බවට පත් කලේ. ඒ විතරක් නෙවෙයි මාව රංගන ශිල්පියෙක් බවට විශ්වාස කරලා රංගනයට යොමු කළේ ඔහු තමයි.

හිතුවක්කාරයා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරපු ෂර්ලි පී දෙලන්කාවල මහතා තමයි මාව රංගන ශිල්පියෙක් විදියට රංගන කටයුතු වලට සහභාගි කරවා ගත්තේ.

මම රංගනයේ යෙදුන හුස්මක් තරමට නාට්‍යයෙන් මාව ජනප්‍රියත්වයට පත් කරලා මාව වෙනමම පැතිකඩකට යොමු කළේ තරංග දිසානායක මහතා සහ රවීන්ද්‍ර විජේරත්න මහතා.

ඒ වගේම පාරදිගේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ජයප්‍රකාශ් ශිව ගුරුණාදන් මහතා තමයි රංගනය ගැන මට හරි අවබෝධයක් ලබාදීලා මගේ චරිත ගොඩනැගීම ගැන, රඟපෑම ගැන, මේ හැමදෙයක්ම ගැන මට ලොකු අවබෝධයක් ඇති කරවලා අද මාව මෙතැනට ගෙන ආවේ.

අපි හැමදාම දකින ආකාරයේ ටෙලි නාට්‍යයක් නොවෙයි පාරදිගේ ටෙලිනාට්‍යය කියන්නේ. පාර දිගේ ටෙලිනාට්‍ය සුවිශේෂී තාවයකට පත් කරපු සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේ නාට්‍ය පිටපතක් මට ලබා දීපු එක ගැන.

ඒත් එක්කම RAWDS  සංගීත කණ්ඩායමේ මගේම සහෝදරයෝ දෙන්නෙක් වගේ මට සෑම දෙයකටම උදව් කරන ඉන්දුවර සහ සචින්ටත් මා මේ මොහොතේ දී මතක් කරන්න කැමතියි.

සැකසුම – බිනාලි රාජපක්ෂ

මෙන්න බලන්න තවත් පුවත්