ඓතිහාසික තෝණිගල සෙල්ලිපිය වසර 20 කට පමණ පසුව මහජනතාව සඳහා විවෘත කර ඇත.

 

වව්නියාවේ සිට හොරොව්පොතානට පිවිසෙන මාර්ගයේ 6 වැනි සැතපුම් කණුවට මදක් නුදුරින් උතුරු දිශාවට වන්නට උතුර – උතුරු මැද දෙ පලාත වෙන් කරන සීමාවෙහි තිලක්කුලම නම් පෙදෙසේ පිහිටි ගල් තලාවක් මත පිහිටි මෙම සෙල් ලිපිය මෙරට පැවති යුද්ධය හේතුවෙන් විනාශ වීමට අවධානමක් තිබූ බැවින් වලි හා පස් යොදා ආවරණය කර තිබූ අතර, මේ වන විට එම වැලි හා පස් ඉවත් කොට නැවත ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කොට ඇත.

 

මෙම සෙල්ලිපිය අවට තවත් බොහෝ පුරා විද්‍යාත්මක නටඹුන් රාශියක් දැක ගත හැකි අතර, මෙය පැරණි බැංකුවක් ලෙසින් හඳුනා ගත් ස්ථානයකි.

 

ක්‍රිස්තු වර්ෂ 303-331 අතර කාලය තුළ මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය රජු විසින් කරවා ඇති මෙම සෙල්ලිපියෙහි අර්ථය පහත දැක්වේ.

 

 

මංගලයක් වේවා. පෘතුවීශ්වර (පෙරසිටි) මහසෙන මහ රජුගේ පුත‍්‍ර වූ සිරි මේඝවණ්ණ අභය මහරජතුමා සේසත් එස වූ තුන්වන වර්ෂයේ දී නගරයෙ හි උතුරු දිශාවේ කලහුමනක නම් වෙළඳ සභාවේ (බැංකුවේ) තමා විසින් පරිත්‍යාග කරනලද වස්තුව අඩුවීමක් හෝ හීනවීමක් නොවන ලෙස කඩුබලගම වාසය කරන අමාත්‍යය පර්ෂදයේ සිවගේ පුත‍්‍රයා වන දේව විසින් යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලද අරියවංශ වෘත්තිය පැවැත්වීම සදහා වී සකට (කරත්ත) දෙකක් හා දස අමුණක වී ද අමුණු හයක උදු ද මුං ඇට අමුණු දහයක් ද දෙන ලදි. මෙම දස අමුණක වී වල මහකන්නයේ පොළිය ද යළකන්නයේ පොළිය ද මැදකන්නයේ පොළිය ද වශයෙන් අමුණු විසිපහක වී ද උදු හය අමුණක පොළිය උදු එක අමුණු පෙකඩ දෙකක් ද මුං දස අමුණක පොළිය අමුණු දෙකයි පෙකඩ දෙකක්ද වේ. මේ ඉහත කී තැන්පතුවේ මූල ධනය වෙනස් නොකොට පොළිය ගෙන බත් සදහා ද අතුරුපස කෑමට ගන්නා ආහාර මී කිරි, මී පැණි, කැවිලි, තල, දුන් තෙල්, ලුණු, පළා වර්ග සහ කහ සඳහා ද විහාරස්ථානයේ භෝජන ශාලාවේ ආහාර පිසින කටයුතු ගෙවීම සඳහා ද දිය යුතු ය. මෙකී තාක් වස්තුව එහි පොළියෙන් ගෙන පැමිණෙන පැමිණෙන වස්කාලයක් තුළ නිකිණි මස ශුක්ල පක්‍ෂයෙහි දොළොස් වන දිනයෙ හි අරියවංශ ප්‍රතිපදාව කරන මහා භික්‍ෂු සංඝයාට නියම කොට යහිස පර්වතයෙහි අභිනව විහාරයට දෙන ලදි.

 

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්