වල කපන වැඩේ ඉවර කර ගන්න දවස් 4 ක් ගියා, ඒකත් මගේ උපරිමයෙන් මහන්සි වෙච්චි නිසා.ඒකට පිං සිද්ද වෙන්න ලයිට් බිල ගෙවලා කොල්ලට ඔන් ලයින් කරන්න ගෙවන්න ගත්තු ෆෝන් එකේ වාරිකෙත් ගෙවලා දාන්න පුළුවන් වුණා.

 

සමහර ඈයෝ තෙල් ප්‍රශ්න නිසාම පුස්සයිකල් අරගෙන, කොහෙද මුංට හෙණ ගහන්න එපැයි, අවුරුදු ගානක් තිස්සේ ගෙනල්ලා විකුණගන්න විදිහක් නැතුව වේලී වේලී තිබ්බ බයිසිකල් එකක් දැන් විකුණන්නේ අසූ දාහකට, සමන්තිකා කිව්වෙම,

“ඔය හැටි පයින් යන්න බෑනේ විමල් බයිසිකලයක්වත් ගන්න බලන්න,”

කියලා. කොහේ ගන්නවද මේ අස්ප ගනන් වල හැටියට

 

සමන්තිකාගේ අලුත්ම වැඩේ කුකුළෝ ටිකක් ඇති කරන එක, ඔන්න මේ ටිකේම මට කරදරේ උන්ට ඉන්න කූඩුවක් ගහලා දෙන්න කියලා, බිතතරයක් 50 පැනලා. අඩු ගානේ පොඩි උන්ට බිත්තරක් වත් දීගන්න පුළුවන් වෙයිනේ.

 

හවස හන්දියේ ගෙදර ඇවිත් ආයේ හන්දියේ කඩේට යන්න වුණා සමන්තිකාගේ එළවළු ටික දීලා එන්න. කොළ මිටි 15 කුයි, අමු මිරිස් කිලෝවක්, එක්ක දඹල කිලෝ දෙකක් තිබ්බා. වරදක් නෑ රුපියල් 1800 ක් තිබ්බා. මීට මාස දෙක තුනකට කලින් නම් මේ ගානට මොන තරම් දේවල් ටිකක් කරන්න පුළුවන්ද, දැන් අඩුගානේ හාල් කිලෝ 10 ක් ගන්න  බෑ. 

 

මම එන ගමන් පොහොර කඩේට ගොඩවෙලා උරයක් රුපියල් 20 ගානේ පොහොර උර 10 කුත් අරගෙන ආවේ, සමන්තිකාගේ බතල දඬු ටික හිටවන්න.

 

කතාවක් යනවා සතියට දවස් තුනක් විතරක් කට්ටියව වැඩට ගෙන්නන්න හදනවා කියලා. පඩි නොකැපුවොත් ලොකු දෙයක්, පන්සලේ ආවාසේ තීන්ත ගාන්න කියලා ඇමරිකාවේ ලොකු කොම්පැනියක වැඩ කරන මහත්තයෙක් සල්ලි දාලලු. හාමුදුරු කෝල් කරලා කිව්වා 2500 ක් දෙන්නම් දවසට පුළු පුළුවන් විදියට ඇවිත් තීන්ත ටික ගාලා දෙන්න කියලා.

 

සුමනාසාර උන්නාන්සෙත් දන්නවා අපි ගොඩ එන්න දඟලන දැඟලිල්ල, අපරාදේ කියන්න බෑ අපවත් වෙච්ච ලොකු හාමුදුරුවෝ නිකම්ම වැඩේ කොරවගනිද්දි මුංන්නාසේ කවදාවත් පන්සලේ වුණත් පිනට වැඩ කරන්න කියලා නෑ. විමල් උන්නැහේටත් දරු පවුලක් ඉන්නවනේ කියලා, වැඩේ ඉවර කරලා එද්දි පඩියත් අතට දීලා පොඩි වුන්ට ඔය මොනා හරි බිස්කට් පළතුරු ටිකකුත් ඔතලා දෙනවා.

 

වෙලාවකට මට හිතෙනවා රට යන්න, ඒත් ඉතිං මොකෝ මම රට ගිහින් මොනා කරන්නද, මට බර වාහන පදින්න පුළුවන්ද, බෑනේ. ඔය ඉදිකිරීම් කරන තැන්වල අත්වැඩ දෙනවටත් ලක්ෂ ගානක් පඩිලු, ඒත් ඉතිං ඔය කාන්තාරේ කර වෙන්න ඇහැකිද, මෙහේ ඉඳන් කරන්න පුළුවන් තව දේවල් ටිකක් බලනවා.

 

ඒ අස්සේ සමන්තිකාට තව වැඩක් සෙට් වෙලා, ඉස්සරහ පොල් මෝලේ වැඩට එන ගෑණුන්ට බත් පැකට් 10 ක් දෙන්න. 

මුදලාලි කලින් බත් ගත්ත තැන වහලලු, අපේ එකෙනාගෙන් අහලා කෑම පැකට් 10ක් ගන්න හොඳ තැනක් තියනවාද කියලා, අපේ උන්දත් මොකෝ ගත් කටටම

“මම හදලා දෙන්නම් මුදලාලි ”

කියන්න ඇති.

 

සතියට දවස් 6 ක් මාළු එක්ක බත් පැකට් 10 ක් දෙන්න ඕනිලු, ඉඳලා හිටලා බිත්තරයක් කරවල කෑල්ලක් තිබ්බට කමක් නෑ කියලා, පැකට් එකකට 180 ක් දෙනවා කියලා, ඔන්න අපේ උන්දෑ රෑ දාගෙන කොළ තෝරනවා හෙට බතට. මමත් එහෙමම පුටුවේ වාඩි වෙලා කොළ ටික තෝරලා දීලා ආවා නිදාගන්න.

 

———————————————————————————————————-

 

මම අමායට උඩ තට්ටුවේ ස්ටඩී රූම් එක හදලා දුන්නා විඩියෝ වැඩ වලට අළුතින් ලයිට් ටිකක් අල්ලන්න විතරයි වියදම් වුණේ, “Life Lesson with Amaya” අපි එහෙමයි අපේ යූ ටියුබ් චැනල් එකට නම දැම්මේ.

 

චූටික්කි නින්ද ගියාම, අපි පැයක් දෙකක් අරගෙන වීඩියෝ එක කරනවා මම සති අන්තේ ඒක එඩිට් කරලා චැනල් එකට අප්ලෝඩ් කරනවා, ඒ අතරේ අමායා පොඩියට ආයේ ෆ්‍රී ලාංසිනුත් වැඩ කරන්න පටන් ගත්තා.

 

මම ඉරිදා කාවිංග එක්කම ගිහින් වාහනේ ගත්තා, 2015 රෙජිස්ටර් කරපු ඇල්ටෝ එකක් 30 ක් කිව්වට අපිට 28 කට අඩු කර ගන්න පුළුවන් වුණා.

 

අමායාත් සතුටුයි, අමායා මට දහ වතාවකට වැඩිය කිව්වා

ගෑණුදුක

කියලා.

 

මේ ටිකේම මම වැඩට ගියේ බස් එකේ, පෝලිම් වල ඉඳලා මහන්සි වෙන්න බැරි නිසාමයි. හවස එද්දි හොඳ ගනන්, මොකෝ ඉස්සර වගේ ආසාවකටවත් ඌබර් එකක් පික් මී එකක් දාන්න කියලද, එයාලා දැන් හයර් යන්නේ නෑනේ. අනිත් එක කිලෝ මීටරයක් දුර ආවත් 450 ක් විතර ගන්නවා.

 

ආණ්ඩුවේ කේස් එක්ක අපේ ප්‍රොජෙක්ට් ගොඩක් කැන්සල් වෙලා, බහුතරයක් ට්‍රයි කරන්නේ රටින් පනින්න, අමායත් එක්ක කතා කරලා අපිටත් මොකක් හරි ලොකු ඩිශිසන් එකක් ගන්න වෙනවා මෙහෙම ගියොත්.

 

රෑ චූටික්කිව අම්මලාගේ ගෙදරට දාලා අපි දෙන්නා පොඩ්ඩක් එළියට ආවා, මේ ටිකේම ආපු කරදර එක්ක මාස ගානකින් එළියට ගිනින් නෑ. අමායට වුණත් ඔක්කොම ලෙඩ ගේ අස්සට කොටු වෙලා ඉන්න නිසාද මන්දා.

 

හවස ගලදාරි එකේ හයි ටී එකට ගිහින්, රෑ වෙලා පොඩ්ඩක් ගල්කිස්සේ බීච් එකටත් ගිහින් මගින් සුප් දෙකකුත් බීලා ගෙදර ආවේ, අම්මලාගේ ගෙදරින් පොඩ්ඩිවත් අරගෙනමයි.

 

අලුතෙන් වාහනේ ගත්තට ඉස්සර වගේ අනුරාධපුර, කතරගම යන්න බෑනේ, ඒවට තෙල් කෝ, අපි හිතුවේ තෙල් ටිකක් ගහලා එකහු කරගෙන හිමීට යනවා කියලා. එතකම් සෙනසුරාදා උදේම කැළණියට ගිහින් එන්න කතා වුණා.

 

ඉස්සර වගේ අම්මලාව දාගෙන යන්න පුළුවන් කමකුත් නෑ, පිටිපස්සේ උපරිම තුන් දෙනෙක් යන්න පුළුවන් වෙයි.  ඒ නිසා අපි තුන්දෙනා විතරක් යනවා කියලා හිතා ගත්තා.

 

පිරිමි ගැන කතාවක් – 3 මෙතනින් කියවන්න :  https://bit.ly/3zU3aw8

 

ලියන්නේ : අක්ෂි මාපා වීරසිංහ

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්